Skip links

ඇමෙරිකා-ඉරාන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළා; ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක 

ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මෙරටට පැමිණීමට ඉල්ලීමක් කළ බවත් රටේ ආරක්ෂාවත් රටේ මධ්‍යස්ථ ප්‍රතිපත්තියත් සුරක්ෂිත කරමින් එම ඉල්ලීමට අවසර නොදුන් බවත් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ ය. 

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය ඊට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමත්, ඉරානය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඇති වී තිබෙන යුදමය වාතාවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට අදහස් දක්වමින් දිසානායක ජනාධිපතිවරයා මාර්තු 20 සිකුරාදා ඒ බව අනාවරණය කළේ ය. 

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදේ දී ඉරාන යුද නෞකාවක් වන අයිරිසි ඩෙනා [IRIS Dena] යාත්‍රාවට ඇමෙරිකා එක්සත් ජනපදය ටෝර්පිඩෝ ප්‍රහාරයක් එල්ල කළ අතර ඉන් 84 දෙනෙක් මියගියහ. එම ප්‍රහාරයෙන් 32 දෙනකු දිවි බේරාගැනීමට සමත් වූ අතර, ඔවුහු මේ වනවිට ශ්‍රී ලංකාවේ රැඳී සිටිති. ඊට අමතරව ඉරානය නාවික හමුදාවට අයත් තවත් යාත්‍රාවක් වන අයිරිස් බුෂර් [IRIS Bushehr] නෞකාවේ නාවිකයන් ශ්‍රී ලංකා භාරයට ගෙන තිබෙන අතර ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් දැක්වීය. 

මේ සම්බන්ධයෙන් සියලු ප්‍රතිපත්ති ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අනුව යැයි අවධාරණය කළ ජනාධිපතිවරයා, මනුෂ්‍යත්වය සහ රටේ ආරක්ෂාව හා ගෞරවය ද සලකා බලමින් එම තීන්දු තීරණ, ක්‍රියාමාර්ග යනාදිය ගත් බව තවදුරටත් පැවැසීය. 

“අපේ මේසය උඩ තිබෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය අපෙන් ඉල්ලා සිටිනවා, මාර්තු 9 සහ 13 නාවික යාත්‍රාවලට ප්‍රවිෂ්ඨ වෙන්න අවසර ඉල්ලා සිටිනවා. අනෙක් පසින් ඇමෙරිකා එක්සත් ජනපදය නාවික හමුදාවට අයත්, යුද ගුවන් යානා දෙකක් අපේ මත්තල ගුවන් තොටුපොළට එන්න ඕන කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය. අපි ඉතාමත් පැහැදිලිව ගත්තා, අපේ රට මධ්‍යස්ථභාවය, ඒ වෙනකොටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතුවෙමින් තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ,” හෙතෙම පැවැසීය. 

එහිදි මෙය තවදුරටත් පැහැදිලි කළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙසේ ද කීය. 

“ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නයේදී විශේෂයෙන් පෙබරවාරි 26 වැනිදා, ඉරානය අපෙන් ඉල්ලීමක් කළා මාර්තු 09 සහ 13 දිනවලදී සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ සංචාරයකට නාවික යාත්‍රා 03ක්  ලංකාවට පැමිණීමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබා දීම පිළිබඳ අධ්‍යයනය කරමින් සිටියා. ඒ වගේම එදිනම සවස එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටියා ප්‍රහාරක ගුවන් යානා දෙකකට ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණීමට අවසර දෙන්න කියලා. අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා අපේ රටේ මධ්‍යස්ථභාවය පිළිබඳ. ඒ වන විටත් යුදමය ගැටුම් පිළිබඳ සංඥා මතු වී තිබුණා. ඒ නිසා අපි මේ ඉල්ලීම් දෙකටම අවසර ලබා දුන්නේ නැහැ. ඇතැම් අය ප්‍රශ්න කළා ඇයි ඉරාන නෞකා දෙකට අවසර දුන්නේ නැත්තේ කියලා. එහෙම කළා නම් අපේ සමස්ත මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. ඒ වගේම අපේ කලාපයෙන් ඈත පැවති යුදමය ගැටුමක් මත්තල සහ කොළඹ වරායට ළඟා වෙනවා. කුමන පීඩනයක් මධ්‍යයේ වුවද අපි රට ආරක්ෂා කළා.” 

කිසිදු බලපෑමක් හමුවේ ශ්‍රී ලංකාව සිය මධ්‍යස්ථභාවය අත්නොහරින බවත්, ජාතික අභිමානය සහ ජාත්‍යන්තර පිළිගැනීම ආරක්ෂා කරගත හැක්කේ එවැනි ස්ථාවරයක් තුළින් පමණක් බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. රජය යම් පාර්ශවයකට පක්ෂග්‍රාහී වූ බවට හෝ තීරණ ප්‍රමාද කළ බවට එල්ල වන චෝදනා “සම්පූර්ණයෙන්ම අසත්‍ය” බවත් පවසමින් ජනාධිපතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

මෙරට ප්‍රධානතම අපනයන වෙළඳපොළ වන ඇමරිකා එක්සත් ජනපදය මෙන්ම මෙරට තේ සඳහා ප්‍රධාන ගැනුම්කරුවකු වන ඉරානය සමඟ ද ශ්‍රී ලංකාව සමීප සබඳතා පවත්වයි.

මේ අතර, ස්විට්සර්ලන්තය ද මාර්තු 14 වන දින සිය මධ්‍යස්ථභාවය යළි තහවුරු කරමින්, ඉරාන යුද්ධයට අදාළ ඇමරිකානු හමුදා ගුවන් ගමන් දෙකක් සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල් දෙකම යුධමය කටයුතු සඳහා ඉඩ ලබා දීම ප්‍රතික්ෂේප කරමින් මානුෂීය වගකීම්වලට මුල්තැන දෙමින් මධ්‍යස්ථ රාජ්‍ය ලෙස තම ස්ථාවරය ප්‍රකාශ කර ඇත.

ඊට අමතරව උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය, ඇමෙරිකා එක්සත් ජනපදයේ මිත්‍ර පාර්ශව, විශේෂයෙන් එක්සත් රාජධානිය මෙම යුද්ධයේ දී ඇමෙරිකා එක්සත් ජනපදය කරන ලද ඉල්ලීමක්වලට ඍජුව හෝ වක්‍රාකාරයෙන් හෝ ඒවා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇතැම් අවස්ථාවලදී ඇමෙරිකාවේ ස්ථාවරයට වෙනස් හෝ ඊට අඩියක් හෝ දෙකක් හෝ පස්සට තබමින් ආරක්ෂිත පියවර අනුගමනය කර ඇත. 

Leave a comment

This website uses cookies to improve your web experience.