Skip links

දුෂ්ට පාලකයන් අතළොස්සක් ලෝකය විනාශ කරනවා

දුෂ්ට පාලකයන් අතළොස්සක් විසින් වත්මන් ලෝකය විනාශ කරමින් සිටින බවත් ගැටුම්වලින් සහ භූමිය සූරාකෑමෙන් ලෝකය ඈත් කරන තීරණාත්මක වෙනසක් ඇති කළ යුතු බවත් අතිඋතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ අද (16) ප්‍රකාශ කළහ. 

අති උතුම් ශුද්ධෝත්තම 14 වන ලියෝ පාප්තුමෝ මේ දිනවල අප්‍රිකාවේ සංචාරයක නිරත වී සිටින අතර, උන්වහන්සේ කැමරූන් දේශයේදී මේ බව ප්‍රකාශ කළහ. 

ඇතැම් ලෝක නායකයන් යුද්ධ වෙනුවෙන් බිලියන ගණනින් මුදල් වැය කරමින් සිටින බවත්, සිය යුද්ධ සාධාරණීයකරණය කිරීම සඳහා ආගම් භාවිත කරන ලෝක නායකයන් හෙළා දකින බවත් පාප්තුමෝ කීහ. පාප්තුමකු හෝ ලියෝ පාප්තුමෝ හෝ මේ ආකාරයේ ප්‍රබල චෝදනාවක් කිරීම ඉතාම දුලබ කාරණයක් යැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. කැමරූන්හි ඉංග්‍රීසි බස කරන ප්‍රදේශවලින්, විශාලම නගරයක් වන බමෙන්ඩාහි පැවැති හමුවකදී පාප්තුමෝ මේ චෝදනා එල්ල කළහ. 

පාප්තුමෝ සිය අප්‍රිකානු සංචාරය ආරම්භ කළේ ඉකුත් අඟහරුවාදා ය. ඉකුත් දින කිහිපයේදීම ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පාප්තුමෝ ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කළ අතර, සිට ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ 14 වැනි ලියෝ පාප්තුමෝ දැඩිව විවේචනය කළේ ය. ලියෝ පාප්තුමෝ දිගින් දිගටම යුද විරෝධී ප්‍රකාශ සිදු කිරීම, ඊට හේතු විය. ඇමෙරිකානු ජනාධිපතිවරයා පමණක් නොව, ට්‍රම්ප් පරිපාලනයේ ඇතැම් ඉහළ පෙළේ පිරිස්, පාප්තුමෝ විවේචනය වන ආකාරයේ අදහස් දැක් වූ අතර, ‍ඇමෙරිකානු ජනාධිපතිවරයා හෝ අනෙකුත් පාර්ශවවලට බිය නොවන බවත්, තමන් දිගටම යුද්ධයට විරුද්ධ බවත්, දිගටම යුද්ධයට විරුද්ධව අදහස් දක්වන බවත් පාප්තුමෝ අවධාරණය කළහ. 

යුද්ධයේ ස්වාමියන් විනාශය ගෙන එන්නට යන්නේ නිමේෂයක් බව නොදන්නා ලෙස හැසිරෙන බවත්, විනාශයකින් පසු නැවත ගොඩනැගීමට මුළු මහත් ජීවිත කාලයක් ගතවන බවත් උන්වහන්සේ කීහ. 

මරණ සිදු කිරීමටත්, විනාශය ඇති කිරීමටත් බිලියන ගණන් වියදම් කරන පාලකයන්, එය නොදැක්කා සේ සිටින බවත්, සුවපත් කිරීමටත්, අධ්‍යාපනයටත්, ප්‍රතිෂ්ඨාපනයටත් අවශ්‍ය මුදල් සහ සම්පත් සොයාගැනීමටවත් නොහැකි වී ඇතැයි ද පාප්තුමෝ පැවැසූහ. 

 

ඒජන්සි වාර්තා ඇසුරිනි

ඡායාරූපය – රොයිටර්ස් [Pope Leo XIV walks to board a plane bound for Bamenda where he will attend a meeting for peace and hold a holy Mass, at Yaounde Nsimalen International Airport, in Yaounde, Cameroon, April 16, 2026. REUTERS/Luc Gnago]

Leave a comment

This website uses cookies to improve your web experience.