ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායකයා මියගියා : ඊශ්‍රායලය
ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ඇති ව ඉරානයට එල්ල කරන ලද දැවැන්ත ප්‍රහාරයෙන්, ඉරානයේ උත්තරීතර නායකයා වන අයතුල්ලා අලී කමේනි මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට අනුව, ඊශ්‍රායලය උත්තරීතර නායකයාගේ නිවාස සංකීර්ණයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර ඊශ්‍රායලයේ ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ට අනුව, ඉරාන උත්තරීතර නායකයාගේ සිරුර ද මේ වනවිට සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සෙනසුරාදා පෙරවරුවේ ඉරානයට එරෙහිව එල්ල කරන ලද ප්‍රහාරය, ඔවුන් දශක ගණනාවකට පසුව කරන ලද වඩාත් අභිලාෂකාමී ප්‍රහාරය යැයි ද විදෙස් මාධ්‍ය හඳුන්වා දී තිබිණි.
පූර්ව-ආරක්ෂිත පියවරක් ලෙස ඉරානයට ප්‍රහාර එල්ල කළේ යැයි ඊශ්‍රායලය පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා පෙරවරුවේ නිවේදනයේ කළේ ය. ඉන් ටික වේලාවකට පසුව, තමන්ද ඉරානයට පහර දෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය සඳහන් කළේ ය. ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ප්‍රහාර, ප්රකෝපකාරී සහ නීති විරෝධී යැයි චෝදනා කළ ඉරානය, ප්‍රතිප්‍රහාර දක්වන බවත්, අදාළ අයුරින් ප්‍රතිචාර දක්වන බවත් අවධාරණය කළේ ය. ඊශ්‍රායලය, ඇමෙරිකා එක්සත් ජනපදයේ කඳවුරු තිබෙන ගල්ෆ් රාජ්‍ය ඇතුළු අවම වශයෙන් රටවල් හතක ඉලක්ක වෙත ඉරානය සෙනසුරාදා රාත්‍රිය වනවිට ප්‍රහාර එල්ල කර තිබිණි.
ජනාධිපතිවරණය සමයේදී තමන් “සාමය උදෙසා කැපවූ ජනාධිපතිවරයකු” යැයි ප්‍රකාශ කළ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට මෙලෙස ප්‍රහාර එල්ල කිරීම හෙතෙම ධුරයට පත්වීමෙන් පසු ගන්නා ලද ඉතාම අවදානම් සහගතම විදෙස් ප්‍රතිපත්ති තීරණය යැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. දශක ගණනාවක් මුළුල්ලේ ඉරානයෙන් පවතින තර්ජනය අවසන් කිරීම සඳහාත් ඉරාන න්‍යෂ්ටික අවියක් සංවර්ධනය කරගනිමින් එය අත්පත් කරගැනීම ඉඩ නොතැබීම සහතික කිරීම සඳහාත් මෙම ප්‍රහාර එල්ල කළ බව, සිය තීරණය සාධාරණීයකරණය කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
ආයුධ බිම තබන්නැයි ඉරාන ආරක්ෂක අංශවලින් ඉල්ලීමක් කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා, මෙම ප්‍රහාරමාලාව අවසන් වූ පසුව ඉරාන රජය පෙරළා දමන්නැයි ඉරාන වැසියන්ට ආරාධනා කළේ ය. ඉරාන උත්තරීතර නායක අලි කමේනි “තවදුරටත් ජීවතුන් අතර නොමැති බවට” බොහෝ සංඥා හා සලකුණු ඇතැයි ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායාල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවැසීය. ඒ අනුව මෙම “වැඩය/කර්තව්‍යය” අවසන් කරන්නැයි ඔහුද ඉරාන වැසියන්ගෙන් ඉල්ලීය.
ඉරාන උත්තරීතර නායක කමේනිගේ නිවාස සංකීර්ණය සහ එම පරිශ්‍රය විනාශ කර දමා ඇතැයි ද, ප්‍රහාරයෙන් ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් සහ න්‍යෂ්ටික කටයුතුවලට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මියගොස් ඇතැයි ද ඊශ්‍රායාල අග්‍රාමාත්‍යවරයා කීය.
රොයිටර්ස් වාර්තාවක් ඇසුරිනි
ඡායාරූපය : රොයිටර්ස්
