දේශගුණික යුක්තිය ඉල්ලා බාලේන්ද්‍ර ෂා ඇමෙරිකාවට
නේපාල අග්‍රාමාත්‍ය බාලේන්ද්‍ර ෂා බලයට පත්වීමෙන් පසු කරන පළමු විදේශ සංචාරය සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය බලා ගමන් කිරීමට නියමිත ය.
එක්සත් ජාතීන්ගේ 81 වැනි මහ සමුළුවට සහභාගී වීම සඳහා ඔහු එලෙස ඇමෙරිකාවට යන අතර, මෙය ඔහු අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු කරන පළමු විදේශ සංචාරය යි.
බාලේන්ද්‍ර ෂා නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ මීට මාස හයකට කලියෙනි.
නේපාල අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ දී ඔහු දේශගුණික යුක්තිය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇතැයි පැවසේ.
ඉකුත් අගෝස්තු මස 26 වැනිදා නේපාලය දැවැන්ත ස්වභාවික ව්‍යවසනයකට මුහුණ දුන් අතර ඉන් මියගිය ගණන මේ වනවිට 1,300කට ආසන්න වී තිබේ. අතුරුදන් වූවන්ගේ ගණන 5,000කට ආසන්න යැයි ද කියැවේ.
නේපාල-ටිබෙට් දේශසීමාවේ ග්ලැසියරයක කොටසක් කඩා වැටී ඇති වූ හදිසි ගංවතුරින් මෙම ව්‍යවසනය ඇති විය.
අධික උණුසුමත්, ඊට හේතු වී ඇති දේශගුණික විපර්යාසත්, දේශගුණික විපර්යාස ඇති වීමට වැඩි වශයෙන් බලපාන ලොව කාර්මික, සංවර්ධිත සහ බලවත් රටවල් කුඩා රටවලට අදාළ වන්දි, උපකාර සහ සහයෝගය ලබාදිය යුතු බවත් යන කතාබහ නැවත ඇති වී තිබේ.
නේපාලයේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිස් සහ විශේෂඥයන් අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උනන්දු කර ඇති අතර, දේශගුණික විපර්යාස යනු හුදෙක් තනි ප්‍රශ්නයක් නොව ලොව සියලු දෙනා මුහුණ දෙන පොදු ප්‍රශ්නයක් බවත්, තමන් ඇති නොකළ ප්‍රශ්නයකට නේපාලය දැන් වන්දි ගෙවමින් සිටින බවත් ඔවුහු අවධාරණය කර ඇත.
මේ තත්ත්වය මත දේශගුණික විපර්යාස, නේපාලයේ මෑතකදී සිදු වූ ව්‍යවසනය, දේශගුණික යුක්තිය සහ සාධාරණත්වය සම්බන්ධයෙන් කතාබහ කිරීමට නේපාල අග්‍රාමාත්‍යවරයා බලාපොරොත්තුවෙන් සිටියි.
බාලේන්ද්‍ර ෂා නේපාලයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ මාර්තු මස 22 වැනිදා ය. එතැන් පටන් මේ දක්වා ඔහු කිසිදු විදේශ සංචාරයක නිරත වී නැති අතර, සාම්ප්‍රදායිකව හිටපු නායකයන් කළ පරිද්දෙන් චීනයට හෝ ඉන්දියාවට හෝ ද ගමන් කර නැත.
බාලේන්ද්‍ර ෂා වැඩි වෙමින් තිබෙන ගෝලීය උෂ්ණත්වය සහ කාබන් වායූ විමෝචනය යනාදියෙන් සිදුවන හානි සහ පාඩුවලට අදාළව වන්දි ඉල්ලීමට බලාපොරොත්තු වන බව ද නේපාලයෙන් වාර්තා වේ.
ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි/[ඡායාරූපය – ප්‍රංශ ප්‍රවෘත්ති සේවය]
