Skip links
Image Courtesy - Himal SouthAsian

රුසියානු-යුක්රේන යුද්ධයේ විදෙස් සොල්දාදුවන් බඳවාගැනීමේ සමාජ මාධ්‍ය මෙහෙයුම

රුසියා-යුක්රේන යුද්ධය මේ වනවිට තවත් වසරක් දක්වා දිග්ගැස්සෙමින් තිබෙන මොහොතක, මෙම යුද්ධය නුදුරේදීම අවසන් වනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉකුත් දිනෙක පැවැසීය. මෙම රටවල් දෙක ප්‍රධාන පෙළේ සිරකරුවන් හුවමාරු කරගැනීමේ වැඩසටහනකට ද එකඟතාව පළ කර ඇතැයි ඉකුත් දිනෙක කියැවිණි. ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් රුසියාව සහ යුක්රේනය ඉකුත් සිකුරාදා සටන් විරාමයකට එළැඹුණු නමුත් එය කඩ කළේ යැයි දෙපාර්ශවයෙන්ම සෙනසුරාදා වනවිට දෙපාර්ශවයටම චෝදනා එල්ල කරගෙන තිබිණි. 

එවැනි තත්ත්වයක් තුළ, මෙම යුද්ධයට සම්බන්ධ විදෙස් සටන්කරුවන් සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා වූ අතර ශ්‍රී ලාංකිකයන් ඒ අතර සිටින බව අවස්ථා ගණනාවකදීම කියැවිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ද මැදිහත් වී තිබූ අතර, විපක්ෂ කණ්ඩායම් කිහිපයක් ද අදහස් දක්වා තිබිණි. ඇතැම් පිරිස් ශ්‍රී ලංකා හමුදාවල සේවය කළ අය බවත්, මුදල් උපයාගැනීම සඳහා ඔවුන් මෙම යුද්ධයට මැදිහත් වූ බවත් සඳහන් විණි. මෙම යුද්ධයට ශ්‍රී ලාංකිකයන් සම්බන්ධ කරගැනීමටත්, ඔවුන් ආකර්ෂණය කරගැනීමටත් සමාජ මාධ්‍ය භාවිත කරන බව මේ වනවිට දැනගන්නට ලැබී තිබේ. 

 

රුසියාව වෙනුවෙන් යුදබිමට ගිය විදේශීය සටන්කරුවෝ

OCCRP [https://www.occrp.org/en] වෙබ් අඩවියට අනුව (මෙම ලිපිය) සහ යුක්රේන බලධාරීන් මාධ්‍ය වෙත ලබා දී ඇති දත්තවලට අනුව 2022 වසරේ පෙබරවාරි මාසයේදී රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු රුසියාව සිය හමුදා වෙත රටවල් 44 කින් විදේශීය සටන්කරුවන් 24,000 කට වඩා බඳවා ගෙන ඇත. එසේම දැනට යුක්රේන අත්අඩංගුවේ පසුවෙන මෙවන් කුලී බට පිරිස් අතර කොලොම්බියාවේ සිට කැමරුන් දක්වාත් ඉතාලියේ සිට චීනය දක්වාත් වූ රටවල ජාතිකයන් සිටින බවත් යුක්රේනයේ යුධ සිරකරුවන්ට සැලකීම පිළිබඳ සම්බන්ධීකරණ මූලස්ථානය වාර්තා කරයි. එම දත්තවලට අනුව වැඩිම බඳවා ගැනීම් සංඛ්‍යාවක් සිදුව ඇත්තේ මධ්‍යම ආසියාවෙනි.

උස්බෙකිස්තානය, ටජිකිස්තානය, කසක්ස්තානය, කිර්ගිස්තානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවලින් සටන්කරුවන් 11,157 ක් පැමිණ ඇති අතර ඔවුන්ගෙන් අවම වශයෙන් 1,399 ක් මියගොස් ඇති බව එම නියෝජිතායතනය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියා රටවල දායකත්වය

ශ්‍රී ලංකාවෙන් මෙම යුද්ධයට දායකත්වය දැක්වූවන් පිළිබඳව පළවන තොරතුරු සම්බන්ධයෙන් විමසීමේදී ‘Himal Southasian’ වෙත මාධ්‍යවේදී සරෝජ් පතිරණ 2026 මාර්තු 05 වන දින සිදුකරන ලද හෙළිදරව්වකට අනුව, රුසියානු-යුක්රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් වැදුණු දකුණු ආසියාතිකයන් අතරින් අවම වශයෙන් 455 දෙනෙකු මියගොස් ඇති බව යුක්රේනයේ යුධ සිරකරුවන්ට සැලකීම පිළිබඳ සම්බන්ධීකරණ මූලස්ථානය ප්‍රකාශ කළ දත්තවල සඳහන් වේ. 

මෙම දත්තවලට අනුව 2022 ආක්‍රමණයේ සිට 2025 සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල 1923 දෙනෙකු බඳවා ගෙන ඇත.

මරණ ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි. බඳවාගත් 751 දෙනාගෙන් අවම වශයෙන් 275 දෙනෙකු සටන් බිමේදී මියගොස් ඇත. රුසියානු හමුදාවට බඳවාගත්, මියගිය හෝ අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයන්ගේ සැබෑ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩිවිය හැකි බව ද සම්බන්ධීකරණ මූලස්ථානය සඳහන් කරයි. 

රජය සතු තොරතුරු අනුව මෙලෙස බඳවා ගත් 554 දෙනෙකුගෙන් 59 දෙනෙකු මියගොස් ඇති බව විදේශ අමාත්‍ය විජිත හේරත් පසුගිය වසරේ දී පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

බොහෝ දකුණු ආසියාතිකයන් සිවිල් රැකියා ලබා දෙන බවට ව්‍යාජ පොරොන්දු ලබා දී රුසියානු හමුදාවට බඳවාගෙන ඇත්තේ නීතිවිරෝධී නියෝජිතයන් මාර්ගයෙනි. මෙලෙස මියගිය අයවලුන්ගේ පවුල් පවසන්නේ, එලෙස යුද බිමේදී මියගිය සිය පවුලේ සාමාජිකයා වෙනුවෙන් ගෙවිය යුතු වැටුප් සහ මරණ ප්‍රතිලාභ ලබාදීම ප්‍රමාද කරන බව හෝ වංචනික ලෙස නිලධාරීන් විසින් සොරාගන්නා බව ය. 

පසුබිම: හිටපු හමුදා නිලධාරීන් ඉලක්ක කර ගන්නේ ඇයි?

පවතින රුසියානු-යුක්රේන ගැටුම හමුවේ විදේශීය බඳවාගැනීමේ ඒජන්තයන් සක්‍රිය සේවයේ නියුතු හෝ දැනට සේවයෙන් බැහැරව හෝ සිටින ශ්‍රී ලාංකික හමුදා නිලධාරීන් කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමුකර ඇති බව පෙනීයයි. මෙයට ප්‍රධාන හේතුව නම් පාබල මෙහෙයුම්, සැපයුම්, ඉංජිනේරු සහ ආරක්ෂක භූමිකා සම්බන්ධයෙන් අත්දැකීම් ඇති සටන් පුහුණුව ලත් විශාල පුහුණු පිරිස් බලකායක් ශ්‍රී ලංකාව සතුවීමයි. 

ආරක්ෂක අංශවල සිටි බොහෝ හිටපු සේවා සාමාජිකයෝ ආර්ථික දුෂ්කරතා, සේවයෙන් පසු හිමිවන සීමිත රැකියා අවස්ථා සහ සිවිල් ජීවිතයට නැවත අනුගත වීමේ අභියෝගවලට මුහුණ දෙති. මෙම පරිසරය තුළ, ඉහළ වැටුප්, වරප්‍රසාද සහ ඉක්මන් යෙදවීම් පිළිබඳ පොරොන්දු සහිතව ප්‍රවර්ධනය කෙරෙන විදේශීය මිලිටරි සහ ආරක්ෂක මෙහෙයුම් මගින් ඔවුනට, මූල්‍ය ස්ථාවරත්වයක් සහ ඔවුන්ගේ ජිවිතයට නව අරමුණක් ලබාදෙන බවක් පෙනෙන්නට තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයින් බදවාගැනීම් සහ විදේශීය මැදිහත්වීම් සඳහා සමාජ මාධ්‍ය භාවිතය

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළවන තොරතුරුවලට අනුව පසුගිය වසර කිහිපය තුළ, රුසියානු-යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවයේ නියැළුණු සෙබළුන් පිරිසක් රුසියානු අනුබද්ධ හමුදා විසින් බඳවාගනු ලැබ ඇති බව වාර්තා වේ. 

මෙම බඳවාගැනීම් ක්‍රියාවලිය කෙතරම් දුරට නිත්‍යනුකූල දැයි නොදන්නා අතර, මෙම බදවාගැනීම් පිළිබඳව වූ මුල්කාලීන වාර්තා අනුව මේ ක්‍රියාදාමය පිටුපස මිනිස් ජාවාරම සම්බන්ධ ක්‍රියාවලියක් සිදුවන බවට කරුණු වාර්තා විය. ඉහත වාර්තා වන අන්දමේ විශාල පිරිසක් සේවය සදහා රුසියාව වෙත රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද මෙන්ම ශ්‍රී ලංකාවේ බලධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුම්වත්ද යන කාරණා අදටත් පැහැදිලි නොවේ.

මෙම කරුණු එසේ තිබියදී මෙතරම් හිටපු හමුදා සාමාජිකයන් පිරිසක් මෙම යුද බිමේ රැකියා සඳහා ආකර්ශනය කර ගත්තේ කෙසේදැයි තොරතුරු විමසීම වෙනුවෙන් ‘විදේශීය තොරතුරු හැසිරවීම් සහ මැදිහත්වීම් (FIMI)’ පිළිබඳව වන සමීක්ෂණයකදී, රුසියානු හමුදාවලට ශ්‍රී ලාංකීය හමුදා නිලධාරීන් සහ සෙබළුන් බඳවාගැනීම සහ ආකර්ශනය කර ගැනීම පිළිබඳව, සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද සංවිධානාත්මක ප්‍රචාරණ ව්‍යාපාර සම්බන්ධයෙන් – සමාජ මාධ්‍ය නිරීක්ෂණ දත්ත, විවෘත මූලාශ්‍ර තොරතුරු සහ ජාල විශ්ලේෂණ මත පදනම්ව, විදේශීය තොරතුරු හැසිරවීම් සහ මැදිහත්වීම් (FIMI) සමඟ අනුකූල වන රටා හඳුනාගැනීමට මෙන්ම යම්තාක් දුරකට තොරතුරු හෙළිදරව් කරගැනීමට ද හැකියාව ලැබී තිබේ.

විදේශීය ගැටුම්වලට සහභාගී වීම සාමාන්‍යයකරණය කරන, රුසියානු හිතවාදී හමුදා පණිවිඩ ප්‍රවර්ධනය කරන, මූල්‍ය දිරිගැන්වීම් අවධාරණය කරන සහ විදේශීය හමුදා සේවය ගෞරවනීය රැකියාවක් ලෙස හුවා දක්වන සම්බන්ධීකරණය කරන ලද මතවාද මෙම සමීක්ෂණය ඔස්සේ හඳුනාගැනීමට හැකිවී ඇත. 

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාව පදනම් කරගත් “Wanesa TV” නම් යූ ටියුබ් (YouTube) නාලිකාව, රුසියානු යුක්රේයන ගැටුමට ගොස් ආපසු පැමිණි ශ්‍රී ලාංකිකයකු සමග සිදුකරන සම්මුඛ සාකච්ඡවක් මගින් ‘රුසියානු පත්තරේ මුල්පිටුව හැඩකළ ප්‍රබල බංකරය අත්පත් කරගත් ශ්‍රී ලාංකික විරුවා’ යන ශීර්ෂය යටතේ සටන්කරුවකු වීර චරිතයක් ලෙස නිරූපණය කර ඇති අතර, ඔහුගේ යුධ අත්දැකීම් උත්කර්ශයට නංවන අයුරින් විස්තර කර ඇත. 

මෙවැනි කතා මගින් විදේශීය හමුදා සේවය කීර්තිමත් සහ ප්‍රතිලාභ සහිත දෙයක් ලෙස ඉදිරිපත් කරන අතර, එමගින් හිටපු ශ්‍රී ලාංකික සේවා සාමාජිකයන්ට මෙවැනි යෙදවීම්වලට යොමුවීමට දිරිගැන්වීමක් ඇති විය හැකිය. මෙම වර්ධන මගින් පෙනීයන්නේ සම්බන්ධීකරණය කරන ලද බලපෑම්කාරී මතවාද, මාධ්‍ය ව්‍යාපෘතිය සහ අනන්‍යතාව පදනම් කරගත් පණිවිඩ හරහා ආර්ථික වශයෙන් අවදානමට ලක් වූ සහ රැකියා විරහිත ප්‍රවීණ සෙබළුන් ඉලක්ක කරගත් බඳවාගැනීමේ ක්‍රියාවලියක් ගොඩනැගෙමින් පවතින බවයි.

මෙවැනි අන්තර්ගත තුළින් ඍජු අදහසක් ලබාගත හැකි වුවද, තවදුරටත් සෙසු සමාජ මාධ්‍ය ජාලා පිටු හරහා සිදුකරන ලද අධ්‍යයනයේදී වඩාත් සූක්ෂම අයුරින් මෙම ක්‍රියාදාමයට සිදුකරන මැදිහත්වීම් දක්නට ලැබිණි.

තොරතුරු පරිසරය සහ සමාජ මාධ්‍ය පද්ධතිය

මෙහිදී ආර්ථික අභිප්‍රේරණවලට අමතරව, බඳවා ගැනීමේ පණිවිඩ වෙනුවෙන් බොහෝ විට අනන්‍යමතාවය සහ මනෝවිද්‍යාත්මක සාධක ද යොදා ගනී. විදේශීය හමුදා බඳවා ගැනීම් වෙනුවෙන් නිර්මාණය කර ඇති තොරතුරු පරිසරය හැඩගස්වනු ලබන්නේ විදේශීය ගැටුම්වලට සහභාගී වීම සාමාන්‍යකරණය කරන සමාජ මාධ්‍ය වේදිකා, වීඩියෝ නාලිකා සහ යුද්ධය කේන්ද්‍ර කරගත් අන්තර්ගත සහිත පද්ධතියක් මගිනි. 

රුසියානු-යුක්රේන යුද්ධයේ යාවත්කාලීන කිරීම්, සටන් දර්ශන, උපායමාර්ගික විශ්ලේෂණ සහ භූ දේශපාලනික විවරණ බෙදාගන්නා අන්තර්ජාල අවකාශ බොහෝ විට හමුදාමය සම්බන්ධ වීම වෘත්තීයමය, උපායමාර්ගික සහ ගෞරවනීය දෙයක් ලෙස නිරූපණය කරයි. එවැනි අන්තර්ගත මගින් වීරත්වය, සහෝදරත්වය සහ මූල්‍ය අවස්ථා පිළිබඳ මතවාද තහවුරු කරන අතරම යුද්ධයේ යථාර්ථය කෙරෙහි ඇති සංවේදීතාව අඩු කළ හැකිය.

විවිධ වේදිකා හරහා සිදුවන ප්‍රචාරණය, ඇල්ගොරිතම (Algorithm) මගින් මෙහෙයවන අන්තර්ගත නිර්දේශ සහ විදෙස්ගත ලාංකික තොරතුරු ජාල මෙම මතවාදවල ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කරයි. 

යුද්ධයට අදාළ අන්තර්ගත නැරැඹීම බොහෝ විට පරිශීලකයන් ව වඩ වඩාත් සමාන තොරතුරු වෙත යොමු කරන අතර එමගින් යුද්ධයට පක්ෂපාතී පණිවුඩවලට නිරාවරණය වීම වැඩි කරයි. අනන්‍යතාවය පදනම් කරගත් කතාන්දර, ආර්ථික පසුබිම සහ සම්බන්ධීකරණය කරන ලද මාධ්‍ය ප්‍රචාරණ ඒකාබද්ධ වූ මෙම පද්ධතිය, තොරතුරු හැසිරවීම්වලට ගොදුරු විය හැකි පරිසරයක් නිර්මාණය කරන අතර හිටපු හමුදා ප්‍රජා බලපෑම් මෙහෙයුම්වල උපායමාර්ගික ඉලක්කයක් බවට පත්කරයි.

නිරීක්ෂණ වාර්තාවේ සාරාංශය

  • මෙම වාර්තාව මගින් විදේශීය තොරතුරු හැසිරවීමේ (FIMI) මෙහෙයුම්වල මූලික ලක්ෂණ පෙන්නුම් කරන, ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ෆේස්බුක් ගිණුම් හතක (පිටු 6ක් සහ 1 සමූහයක්) එකතුවක් විශ්ලේෂණය කර තිබේ [Global Military Update, Military Frenzy, Military LK, රුසියන්කාරයා (Russian), RUSSO Руссо, Nil Tharu Viyana Yata, Russia Ukraine Group].
  • මෙම පිටු හරහා 2025 සැප්තැම්බර් මාසයේ සිට 2026 මාර්තු මාසය වන විට තොරතුරු බෙදාහැරීම් (පෝස්ට්, වීඩියෝ, තවත්) 4485ක් පමණ වන අතර ඒවා තුළ අදහස් දැක්වීම් 18461, බෙදාහැරීම් (ෂෙයා) 18975ක් සහ වීඩියෝ නැරැඹුම්වාර 6817245 ක් ලෙස ගණනය කර තිබේ.
  • මෙම සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු වෙනත් අභිමතාර්ථ වෙනුවෙන් සකස් කර (වාණිජ අන්තර්ගතවලින් දේශපාලන අන්තර්ගත වෙත මාරුවීම) පසුකාලීනව රුසියානු හිතවාදී යුධ තොරතුරු ප්‍රචාරණය සදහා යොමු වී ඇත. පසුගිය දෙවසරක කාලයට අනුව තොරතුරු විශ්ලේෂණයේ දී අතිවිශාල යුධ බිමේ සිදුවන ක්‍රියාදාම රුසියානු පාර්ශ්වයට ගැති වන සේ ප්‍රචාරණය කර තිබේ. මෙහි දිගුවක් ලෙස ඉරානය සහ ඇමරිකානු පාර්ශවයේ යුද්ධය ආරම්භ වූ විගස මෙම සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු ඉරාන පාර්ශවයට පක්ෂපාතී තොරතුරු ප්‍රචාරණය ආරම්භ කර තිබේ.
  • මෙම ගිණුම් පරිපාලනය ශ්‍රී ලංකාවෙන් ඔබ්බට දේශසීමා ඉක්මවා ගිය කළමනාකරණයක් සහිත බව පෙන්නුම් කරයි. මේවායේ පරිපාලකයන් ශ්‍රී ලංකාවට අමතරව, රුසියාව, ජපානය වැනි වෙනත් රටවල සිට මෙහෙයවන බවක් නිරීක්ෂණය වේ.
  • මෙම ජාලය සරල මිලිටරි පුවත් එක්රැස් කිරීමේ සිට සෘජු භූ දේශපාලනික බලපෑම් එල්ල කිරීම දක්වා ඉතා සංකීර්ණ ලෙස පරිණාමය වී ඇති බව පෙනී යයි.
  • මෙම මුලාශ්‍ර අතර අන්තර්ගත ඍජුවම හුවමාරු කර ගන්නා අවස්ථා රැසක් පවතින අතර, එමගින් ඒවා අතර පවතින සම්බන්ධීකරණය කරන ලද පරිපාලනමය සබඳතාවය මැනවින් පෙන්නුම් කරයි.
  • මෙම සමාජ මාධ්‍ය ගිනුම් ඔස්සේ එකම අවස්ථාවකදී එකම ආකාරයේ “Breaking News”, ග්‍රැෆික් නිර්මාණ සහ මතවාද පළ කරන අතර, ඒවා බොහෝ විට රුසියානු රජය මගින් පාලනය වන මාධ්‍ය මත පදනම් වේ. තවද මෙම මූලාශ්‍ර රුසියාවේ හමුදාමය උත්තරීතරභාවය සහ බටහිර බලයේ පරිහානිය පෙන්වීම සඳහා පොදු දෘශ්‍ය අංග සහ තේමා භාවිත කරයි.
  • මෙම ගිණුම් ස්වාධීන ඒකක නොවන බවත්, ඒවා “ජාල සිතියම්කරණ ශිල්පීය ක්‍රම… පොදු පරිපාලකයන්, පොදු ප්‍රේක්ෂකයන් සහ අන්තර්-ප්‍රකාශන හැසිරීම්” හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් අවකාශය තුළ විදේශීය උපායමාර්ගික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීමට සකස් කරන ලද ව්‍යුහගත ජාලයක කොටස්කරුවන් බවටත් සැක පහළ වේ.

කෙසේ වුවද මෙම ප්‍රවණතා අග්නිදිග ආසියාතික රටවල සිදුවන ආකාරයේ ක්‍රියාකාරකම් හා සාපේක්ෂව විමසා බලන කල ඉතා සෙමින් වර්ධනය වන ප්‍රවණතාවක් සේ දැකිය හැකිය. විශේෂයෙන්ම අග්නිදිග ආසියාතික කලාපයේ බටහිර කඳවුර හා සමීප රාජ්‍යවලට විරුද්ධව චීනය සහ රුසියාව වැනි රටවල් විසින් දැඩි සයිබර් සම්ප්‍රචාරණ ව්‍යාපෘති සමාජ මාධ්‍ය ඔස්සේ මුදාහරියි. නමුත් මෙය ලංකාව තුළ තවමත් වර්ධනීය ස්වභාවයක් ගන්නා බව පෙනී යයි. කෙසේ වුවද ඉන්දියන් සාගරයේ භූදේශපාලනික වශයෙන් පුපුරා යා හැකි තවමත් අක්‍රිය ගිනි කන්දක් බදු ශ්‍රී ලංකාව තුළ මෙවන් ව්‍යාපෘතිවලට දායක කරගත හැකි පිරිස් මෙන්ම මතවාදීමය මූල පැවතීම අනාගතය බලපාන ගැටුම් මූල මතුකර දක්වයි.

 

ඡායාරූපය – හිමාල් සවුත් ඒෂියන් වෙබ් අඩවියෙනි

Image Courtesy – https://www.himalmag.com/politics/russia-ukraine-war-casualties-southasia-srilanka

Leave a comment

This website uses cookies to improve your web experience.