ටිබෙට්-නේපාල දේශසීමාවේ එකතු වූ ජල පරිමාව පිටාර ගැලීමේ අවදානමක්
ටිබෙට්-නේපාල දේශසීමාව ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ස්වභාවික ජල කන්දරාව ඉදිරි පැය 72ක කාලය තුළ පිටාර ගැලීමේ දැඩි අවදානමක් ඇතැයි චීන බලධාරීහු අනතුරු අඟවති.
මෙමඟින් දැනට කෙරෙන මුදාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතුවලට දැඩි බාධා පැමිණෙනු ඇතැයි ද පැවසේ.
ටිබෙට්-නේපාල දේශසීමාවේ ඊයේ (26) ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයත්, මඩ සහිත නායයෑම් තත්ත්වයත් හේතුවෙන් 160ක අධික පිරිසක් මියගොස් ඇතැයි වාර්තා වන අතර, 600කට අධික පිරිසක් අතුරුදන්ව ඇතැයි ද නේපාලයෙන් වාර්තා වේ. මේ අතර විදේශිකයන් ද සිටින බව නේපාල බලධාරීහු සඳහන් කරති. හිමාලයේ ග්ලැසියර දියවී ගොස් එම නායයෑම් සහ හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර, එයින් එක් රැස් වූ ජලය, මඩ යනාදියෙන් මෙම ස්වභාවික විල නිර්මාණය වී තිබේ.
එය දැනටමත් පිටාර ගලමින් තිබෙන බවත්, ඉදිරි පැය 72ක කාලය තුළ මෙම ජල තටාකය කැඩී දැවැන්ත ජල දහරාවක් බවට පත්වනු ඇති බවත් චීන බලධාරීහු අනතුරු අඟවති.
ජලාශයේ තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බව ද චීනයේ ජල සම්පත් පිළිබඳ අමාත්‍යාංශය සඳහන් කර තිබිණි.
