ඇමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවට පහර දෙයි
වෙනිසියුලාවට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් එරට ජනාධිපති නිකොලස් මදුරෝ අල්ලාගත් බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (3) ප්‍රකාශ කළේ ය.
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරීස් ඇමෙරිකානු භාරයට ගත් බවත් ඔවුන් එරටින් පිටතට රැගෙන ආ බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේ ය.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිටින්නේ කොහේදැයි නොදන්නා බවත් ඔවුන් දෙදෙනා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන ඇමෙරිකානු ජනාධිපතිවරයා තහවුරු කළ යුතු බවත් වෙනිසියුලාවේ උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස් අවධාරණය කළා ය.
ඇමෙරිකා එක්සත් ජනපදය සිය භූමියට සහ ජනගහනයට එරෙහිව කරන ලද “මෙම ඉතාම බරපතල හමුදා ආක්‍රමණය ප්‍රතික්ෂේප කරන බවත් මෙම ප්‍රහාරය හෙළා දකින බවත්” වෙනිසියුලානු රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.
“මෙම ප්‍රහාරයේ අරමුණ වෙනිසියුලාවේ දේශපාලන ස්වාධීනත්වය බලහත්කාරයෙන් බිඳ දමමින්, වෙනිසියුලාවේ තිබෙන උපායමාර්ගික සම්පත් විශේෂයෙන්ම තෙල් සහ ඛනිජ ද්‍රව්‍ය අත්පත් කරගැනීම” යැයි ද එම නිවේදනයේ දැක්විණි.
“ජනරජ ආණ්ඩු ක්‍රමය විනාශ කරමින්, ෆැසිස්ට් කතිපයාධිකාරීන් සමඟ එක්වෙමින් යටත් විජිත යුද්ධයක් නිර්මාණය කරමින් පාලන වෙනසක් ඇති කිරීමට ගන්නා සෑම උත්සහායක් ම ඊට පෙර ගන්නා ලද උත්සාහ මෙන් අසාර්ථක වනු ඇතැයි ද,” එම නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
වෙනිසියුලාවේ අගනුවර වන කැරැකස් සහ ලා ගුයයිරා, අරගුවා සහ මිරැන්ඩා යන ජනපදවලින් පිපිරුම් හඬ ඇසුණු බවත්, කැරැකස් නුවර මහජනයා ගැවසෙන ස්ථානවලට සහ හමුදා ඉලක්කවලට ප්‍රහාර එල්ල වී ඇති බවත් වාර්තා විය. වෙනිසියුලාවට ප්‍රහාර එල්ල කළ බවත් වෙනිසියුලානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ අල්ලාගත් බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘත් සෝෂල් සමාජ මාධ්‍ය ජාලයේ පණිවුඩයක් තබමින් ඉන් පැය කිහිපයකට පසු සඳහන් කළේ ය.
ඇමෙරිකානු ප්‍රහාරවලින් කිහිපදෙනකු මියගොස් තවත් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි වෙනිසියුලානු බලධාරීන් ප්‍රකාශ කළ නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු ඉලක්කමක් ඉදිරිපත් කර නොතිබිණි. එමෙන්ම ප්‍රහාරවලින් ඇමෙරිකානු වැසියන් කිසිවකුට හානි සිදු වී නැතැයි ඇමෙරිකානු බලධාරීහු සඳහන් කළහ.
ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ “ඩෙල්ටා බලකාය” මදුරෝ අල්ලාගැනීමේ මෙහෙයුම දියත් කර තිබෙන අතර මෙහෙයුම “ඉතා විශිෂ්ඨ” යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට පවසා තිබිණි. මදුරෝ රටින් පිට කිරීම ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදු කරන ලද්දක් බව වෙනිසියුලානු විපක්ෂය ආරංචි මාර්ග උපුටා දක්වමින් ස්කයි නිව්ස් රූපවාහිනිය වාර්තා කර තිබිණි.
එමෙන්ම වෙනිසියුලාවට තවදුරටත් ප්‍රහාර එල්ල නොකරන බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්ක් රූබියෝ ප්‍රකාශ කළ බව, ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභික මයික් ලී සඳහන් කළේ ය.
ඡායාරූපය රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය
මිඩ්ල් ඊස්ට් අයි ඇසුරිනි
