Skip links

“ඊශ්‍රායලය අල්ජසීරා මාධ්‍යවේදීන් පස්දෙනකු ඝාතනය කරයි”

ගාසා තීරයේ ප්‍රමුඛ පෙළේ වාර්තාකරුවකු ඇතුළු මාධ්‍යවේදීන් පස්දෙනෙක් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් ඉකුත් දා මරණයට පත්වූහ. ඊශ්‍රායලය, ඉතා සැලසුම් සහගතව මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි මේ වනවිට බොහෝ පාර්ශවවලින් චෝදනා එල්ල වී තිබේ. 

ගාසා තීරයේ අල්-ෂෆියා රෝහල ආසන්නයේ කූඩාරම් ගතව සිටි මාධ්‍යවේදීන් පිරිසක් මෙලෙස ඊශ්‍රායල ප්‍රහාරයේ ඉල්ලකය වූ අතර ප්‍රහාරයෙන් අල් ජසීරා මාධ්‍ය ජාලයේ ප්‍රමුඛ වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ද මරණයට පත්විය. අනාස් ගාසා තීරයේ සිට අරාබි බසින් වාර්තාකරණයේ යෙදුණු ප්‍රධානම වාර්තාකරුවෙකි. ගාසා තීරයේ භූමියේ තත්ත්වය වාර්තාකරණය කිරීම සම්බන්ධයෙන් ඔහු බොහෝ සෙයින් ප්‍රසිද්ධියට පත්ව තිබිණි. 

ප්‍රහාරය එල්ල වූ සැණින් අසල සිටි පිරිස්, මාධ්‍යවේදීන්ගේ සහාය සඳහා පැමිණ තිබුණ ද, ඔවුන්ට මාධ්‍යවේදීන්ගේ දිවි බේරාගැනීමට හැකියාවක් නොලැබිණි. 

මියගිය මාධ්‍යවේදීන් 

අනාස් අල්-ෂරීෆ් ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරණයට පත්වන වනවිට 28 වැනි වියේ පසු වූ අතර ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකි. ඊශ්‍රායලය, හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයේ ආරම්භ කළ යුද්ධයට මේ වනවිට මාස 22ක් ගත වී තිබේ. අනාස් මේ සම්පූර්ණ කාලය තුළ ම  ගාසා තීරයේ තත්ත්වය අඛණ්ඩව වාර්තා කළේ ය. අනාස් ගාසා තීරයේ ජබෙයිලියා සරණාගත කඳවුරේ උපත ලැබූවකු වන අතර අල් අක්සා විශ්වවිද්‍යාලයේ උපාධි ධාරියෙකි. හෙතෙම එහි මාධ්‍ය අධ්‍යයනය හදාරා ඇත. ඊශ්‍රායලය 2023 දෙසැම්බර් මාසයේ දී අනාස්ගේ පවුලේ නිවහනට එල්ල කරන ලද ප්‍රහාරයකින් ඔහුගේ පියා මරණයට පත්විය. 

අල් ජසීරා පුවත් සේවයේ තවත් වාර්තාකරුවකු වන මොහොමද් ක්‍රයිකා (අවුරුදු 33) ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරණයට පත්විය. ඝාතනය වීමට සුළු මොහොතකට පෙර ද ක්‍රයිකා සජීවි වාර්තාකරණයක යෙදී තිබිණි. ක්‍රයිකා, ගාසා තීරයේ සුජෙයියාහි දී, 1992 වසරේ දී උපත ලැබී ය. ඔහු ගාසා තීරයේ ඉස්ලාමික් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍යවේදය ඉගෙන ගත්තේ ය. ඊශ්‍රායලය ඉකුත් මාර්තු මාසයේ දී ගාසා නගරයට එල්ල කරන ලද ප්‍රහාරයකින් ක්‍රයිකාගේ සොහොයුරකු වන කරීම් මරණයට පත්විය. 

ඊට අමතරව, අල්ජසීරා පුවත් සේවයේ ඊබ්‍රහීම් සහීර් (25), මොහොමද් න‌වුෆාල් (29) සහ මෝමන් අලීවා ද ඊශ්‍රායල ප්‍රහාරයෙන් මරණයට පත්වූහ. ඔවුහු අල්ජසීරා මාධ්‍ය කණ්ඩායමේ කැමරා ශිල්පීන් ලෙස කටයුතු කර ඇත.

ඊට අමතරව අල්ජසීරා පුවත් සේවයට, නිදහස් වාර්තාකරුවකු ලෙස සේවය කරන මොහොමද් අල්-කල්දී ද මෙම ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.  

වමේ සිට: අනාස් අල්-ෂරීෆ්, මොහොමද් නවුෆාල්, ඊබ්‍රාහීම් සහීර් සහ මොහොමද් ක්‍රයිකා (අල්ජසීරා)

ඝාතනය වෙද්දි ඔවුන් මොකද කළේ ?

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔවුහු වාර්තාකරණයේ යෙදෙමින් සිටියහ. ගාසා නගරයේ අල්-ෂිෆා රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල වාර්තාකරණයේ යෙදෙමින් සිටියදී ඔවුන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී තිබිණි. 

රෝහල් ආසන්නයේ විදුලිබලය ඇති බැවින් ද, අන්තර්ජාල පහසුකම් වඩාත් හොඳ බැවින් ද ගාසාවේ මාධ්‍යවේදීහු බොහෝමයක් රෝහල් ආසන්නයේ කූඩාරම් තනාගෙන ඇති අතර බොහෝ අවස්ථාවලදී ඒ ආසන්නයේ සිට වාර්තාකරණයේ යෙදෙති. එය ගාසා යුද්ධයේ ආරම්භයේ සිට ම, බොහෝ දෙනා දන්නා කාරණයකි. 

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී අනාස් අල්-ෂරීෆ් ඇතුළු පිරිස ද කූඩාරමක් ගසාගෙන එහි සිට වාර්තාකරණයේ යෙදෙමින් සිට ඇත. මෙම ප්‍රහාරය එල්ල වූයේ පසුගිය ඉරිදා (අගෝස්තු 10) වැනිදා ය. 

මොකද වුණේ ?

අල්ජසීරා පුවත් සේවයේ තවත් වාර්තාකරුවකු වන හනී අල්-ෂයිර් ට අනුව මාධ්‍යවේදීන් රැඳී සිටි කූඩාරමට ඉරිදා රාත්‍රී 11.35ට පමණ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ. 

එම කූඩාරමට පැමිණි විට දුටුවේ සියල්ල විනාශ ඇති අයුරු යැයි ඒ අසල කූඩාරමක සිටි තවත් මාධ්‍යවේදියෙක් වන අමෙර් අල්-සුල්තාන් පැවැසීය. 

“මම එතැනට එද්ද සියල්ල විනාශ වෙලා” යැයි හෙතෙම කීය. 

“අනාස් බිම වැතිරිලා ඉන්නවා මම දැක්කා. ක්‍රයිකා ගිනි ගෙන දැවෙනවා”. 

“අපි ඔහු බේරාගැනීමට උත්සාහ කළා. ගින්දර නිවා දැමීමට උත්සාහ කළා” යැයි ද ඔහු කීවේ ය. 

ක්‍රයිකා ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කිරීමට එහි සිටි පිරිස් උත්සාහ කළ ද ඉන් වැඩක් නොවුණු බව අමෙර් පැවැසීය. 

ඒ ආසන්නයේ සිටි තවත් නිදහස් මාධ්‍යවේදියකු වන මොහොමඩ් කෙයිටා මෙසේ පැවැසීය. 

“මම සිද්ධිය ඇසින් දුටුවෙක් පමණක් නෙවෙයි. මම සිද්ධියේ කොටස්කරුවෙක්. ලොකු ගින්දරක් තිබ්බා. 

මට දැනටත් විශ්වාස කරන්න බැහැ. 

අපි දැනගෙන හිටියා අනාස් තමයි ඉලක්කය. ඔහු තමයි අපේ හඬ” 

ඊශ්‍රායලයේ පැහැදිලි කිරීම 

අනාස් මාධ්‍යවේදියකු නොවන බව ප්‍රහාරයෙන් පසුව ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායලය සඳහන් කළේ ය. අනාස් මාධ්‍යවේදියකු නොවන බවත් ඔහු ත්‍රස්තවාදියකු බවත් ඔහු ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බවත් ඊශ්‍රායලය ප්‍රකාශ කළේ ය. අනාස් හමාස් සංවිධානයේ සන්නද්ධ අණදෙන නිලධාරියකු බවත්, ඔහු මාධ්‍යවේදියකු ලෙස පෙනී සිටින බවත් ඊශ්‍රායලය තවදුරටත් චෝදනා කළේ ය. 

ඊශ්‍රායලයේ සිවිල් වැසියන් සහ හමුදා ඉලක්ක කරගනිමින් රොකට් ප්‍රහාර ඉල්ල කිරීම සඳහා අනාස් අල්-ෂරීෆ් මැදිහත් වූ බවට ඊශ්‍රායලය චෝදනා කළ අතර එම චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව ද සඳහන් කළේ ය. 

ඊශ්‍රායලයේ චෝදනාවලට කිසිදු සාක්ෂියක් නැතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුරෝපා කවුන්සිලයේ විදේශ සම්බන්ධතා විශ්ලේෂකයකු වන මුහම්මද් ෂෙහාදා පැවැසීය. 

“ඔහුගේ එකම රාජකාරිය වුණේ කැමරාව ඉදිරියේ සිට වාර්තාකරණයේ යෙදීමයි. ඔහු මුළු දවස මුළුල්ලේම කළේ එපමණයි” යනුවෙන් ෂෙහාදා අල්ජසීරා පුවත් සේවයට පැවැසීය. 

පසුගිය මාස 22 ක කාලයේ දී ඊශ්‍රායලය අවස්ථා ගණනාවකදී මාධ්‍යවේදීන් ඉල්ල කරගනිමින් ප්‍රහාර එල්ල කළ අතර මාධ්‍යවේදීන් 270කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කර ඇත. එම මාධ්‍යවේදීන් සන්නද්ධ කණ්ඩායම්වලට සම්බන්ධ බව පවසමින් ඊශ්‍රායලය එම ඝාතන සාධාරණීයකරණය කර ඇත. 

අල්ජසීරා ප්‍රතිචාරය 

අනාස් අල්-ෂරීෆ් මරණයට පත් කිරීම “ඉලක්කගත ඝාතනයක්” බවත්, මෙය මාධ්‍ය නිදහමට එල්ල වූ බරපතළ ප්‍රහාරයක් බවත් අල්ජසීරා පුවත් සේවය සඳහන් කළේ ය. මෙම ප්‍රහාරය කලින් සැලසුම් කර එල්ල කරන ලද ප්‍රහාරයක් යැයි ද අල්ජසීරා පුවත් සේවය චෝදනා කළේ ය. 

අල්ජසීරා පුවත් සේවයේ වාර්තාවක් ඇසුරිනි 

Leave a comment

This website uses cookies to improve your web experience.