Skip links

ඊශ්‍රායලය ‘බලහත්කාරී’ අවතැන් කිරීමකට සූදානම් වෙයි

‘ගැටුම් ඇති ප්‍රදේශවලින්’ සිවිල් වැසියන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇතැයි වාර්තා වේ. 

ඉරිදා (අගෝස්තු 17) සිට මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අංශ සූදානම් වන බවත් දැනගන්නට ලැබී තිබේ. මෙම සැලස්ම ප්‍රසිද්ධියට පත්වූයේ, ගාසා නගරය අත්පත් කරගන්නා බවට ඊශ්‍රායලය ප්‍රකාශ කර දින කිහිපයකට පසුවය. 

ගාසා නගරය ‘ගාසා සිටි’ යනු ගාසා තීරයේ තිබෙන විශාලතම නාගරික කේන්ද්‍රස්ථානයයි. එය අත්පත් කරගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු මීට දින කිහිපයකට කලියෙන් ප්‍රකාශ කළේ ය.

පලස්තීන වැසියන් මෙලෙස බලහත්කාරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇත්තේ දකුණු ගාසාවෙන් වන අතර, ඔවුන්ට කූඩාරම් සහ අනෙකුත් අවශ්‍යතා සපයන බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේ ය.  එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන ද මානුෂීය ආධාර සපයනු ඇතැයි ඊශ්‍රායලය සඳහන් කර ඇත.

කෙසේ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ, වෙනත් සංවිධාන හෝ මෙම සැලස්ම මෙතෙක් කිසිදු ප්‍රකාශයක් හෝ අදහස් දැක්වීමක් හෝ කර නැත. 

ගාසා තීරයේ බලය අත්පත් කරගැනීම සඳහා හමාස් සංවිධානය මුලිනුපටා දමමින් ඔවුන්ගේ පාලනයේ පවතින ප්‍රදේශ අල්ලාගැනීම සඳහා ඊශ්‍රායලය අග්‍රාමාත්‍යවරයා මීට දින කිහිපයකට පෙර අවසර දුන්න‌ේ ය. උතුරින් ගාසා නගරය ද තරමක් දකුණට වන්න අල්-මවාසි ද හමාස් සංවිධානයේ අවසාන බලකොටු බවට පත්ව තිබේ. 

ගාසා තීරයේ දැනට මිලියනයකට ආසන්න ජනතාවක් ජීවත්වන බවට ගණන් බලා තිබේ. 

පවුල් දහස් ගණනක් දැනටත් බෙහෙවින් පීඩාවට පත්ව ඇති බවත්, සාගත තත්ත්ව සහ මූලික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකි අතිශය දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේ ය. ගාසා නගරය අල්ලා ගැනීමේ ඊශ්‍රායල සැලසුම් සම්බන්ධයෙන් අනතුරු අඟවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒ බව සඳහන් කළේ ය. කෙසේ නමුත් මෙම නව සැලසුම් සම්බන්ධයෙන් සෙනසුරාදා පස්වරුව වනතුරුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිවක් සඳහන් කර නොතිබිණි. 

මෙලෙස බලහත්කාරයෙන් පලස්තීන වැසියන් ඉවත් කිරීම, ගාසා නගරයේ අත්පත් කරගැනීමේ ඊශ්‍රායල සැලස්මේ කොටසක් බවත් ජාත්‍යන්තර සම්මුති අමු අමුවේ උල්ලංඝනය කිරීමක් යැයි පලස්තීනයේ සංවිධානයක් වන ඉස්ලාමික් ජිහාද් සංවිධානය චෝදනා කළේ ය. ඉස්ලාමික් ජිහාද් සංවිධානය, හමාස් සංවිධානයේ මිත්‍ර පාර්ශවයකි. 

“සාගතය, ඝාතන සහ අවතැන් කිරීම යනාදිය මධ්‍යයේ බලහත්කාරයෙන් ඉවත් කිරීම මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධයක්. ගාසා තීරයේ සිදුවන අපරාධ සහ අපරාධ හැසිරීම, බටහිර ඉවුරේ කෙරෙන බලහත්කාරී අත්පත් කරගැනීම්වලින් වෙනස් වන්නේ නැහැ” යැයි ඉස්ලාමික් ජිහාද් සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්විණි. 

පසුගිය සතියක කාලයේ දී ඊශ්‍රායලය ගාසා නගරය ආසන්නයේ කරන මෙහෙයුම් තීව්‍ර කර ඇති අතර  ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර සහ යුද ටැංකිවලින් එල්ල කරන ප්‍රහාර වැඩි කර ඇතැයි ආසන්න ප්‍රදේශවල වැසියෝ සඳහන් කළහ. 

ඊශ්‍රායලය 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයේ ක්‍රියාත්මක්‍රියාත්මක කර තිබෙන යුද්ධය හේතුවෙන් මේ වනවිට 61,827 දෙනකු මියගොස් ඇති අතර ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව මන්දපෝෂණය හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති ගණන, 251කි.  

 

අල්ජසීරා සහ පුවත් කාර්යාංශ වාර්තාවක් ඇසුරිනි

Leave a comment

This website uses cookies to improve your web experience.