Skip links

වසර දෙකකට පසු ‌බෙත්ලෙහෙමට නත්තල් උදා වේ 

ඊශ්‍රායලය-පලස්තීන යුද්ධය හේතුවෙන් වසර දෙකක් මුළුල්ලේ අවලංගු කර තිබූ නත්තල් සැමරුම් නැවත ආරම්භ ‌බෙත්ලෙහෙම් නගරය ඉකුත් දා පියවර ගත්තේ ය. 

ඊශ්‍රායලය, හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේ දියත් කළ යුද්ධය හේතුවෙන් සැමරුම් අත්හිටුවීමට හෝ සීමා කිරීමට බෙත්ලෙහෙමේ නගර බලධාරීහු ද පසුගිය දෙවසරේදී පියවර ගෙන තිබිණි. කෙසේ නමුත් මෙවර නැවත වරක් සැමරුම් පැවැත්විණි. 

මේ අනුව නත්තල් උදාවේදී දහස් සංඛ්‍යාත පිරිසක් බෙත්ලෙහෙමේ මේන්ජර් චත්‍රරශ්‍රයට රැස්ව සිටියහ. බටහිර ඉවුරේ පිහිටි බෙත්ලෙහෙම, ජෙරුසලෙමට දකුණු දෙසට වන්නට පිහිටා තිබේ. ඊශ්‍රායාලය, පලස්තීනයට අයත් ගාසා තීරයේ ක්‍රියාත්මක කරන ලද යුද්ධය හේතුවෙන් 2022 වසරේ පසු බෙත්ලෙහෙමේ නත්තල් සැමරීමක් සිදු නොවිණි. 

මෙවර නත්තල් වෙනුවෙන් මේන්ජර් චත්‍රරශ්‍රයේ විශාල නත්තල් ගසක් ද ස්ථාපිත කර තිබිණි. 

ගාසා තීරයේ සිදුවන ව්‍යවසනයටත් ඊශ්‍රායලයේ අත්තනෝමතික ක්‍රියාකලාපයටත් විරෝධය පළ කරමින්, සුන්බුන් සහ කටු කම්බි අතර ජේසු බිළිඳකු ද ප්‍රදර්ශනය වෙනදාට සිදු කෙරුණි. 

ජෝර්දානය, ඊශ්‍රායලය සහ පලස්තීනය ද ඇතුළු ව ‘ශුද්ධ භූමිය’ භාර ප්‍රධාන කතෝලික නායකයා ලෙස කටයුතු කරන කාදිනල් පියබැටිස්ටා පිසාබොලාගේ ප්‍රධානත්වයෙන් ආගමික කටයුතු හා සැමරුම් පැවැත්විණි. 

සාම්ප්‍රදායික ක්‍රිස්තියානි පෙරහැරක් ද සමඟින් කාදිනල්වරයා ජෙරුසලෙමේ සිට බෙත්ලෙහෙමට පැමිණියේ ය. 

ඊශ්‍රායලයේ ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු ඊශ්‍රායල හමුදා දිනපති බටහිර ඉවුරේ සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර දහස් ගණන් පලස්තීන වැසියන් අත්අඩංගුවට ගත්තේ ය. මේ නිසා ම නගර දෙක අතර ගමනාගමනය සහ අනෙකුත් සම්බන්ධතා ද සීමා විය. 

මෙම නත්තල ආලෝකයේ නත්තල් කරගන්නැයි මෙහිදි කාදිනල්වරයා ඉල්ලීමක් කළේ ය. 

ගාසා තීරයේ යුද්ධයත්, ඊශ්‍රායල හමුදාවල නිරන්තර සෝදිසි මෙහෙයුම්, මාර්ග බාධක, මුර කපොළු යනාදිය හේතුවෙන් බෙත්ලෙහෙමට සංචාරකයන් පැමිණීම ද සීමා වී ඇති බවත් මේ නිසා ආර්ථිකය කඩාවැටීමකට ලක්ව ඇති බවත් පලස්තීන වැසියෝ චෝදනා කරති. ‌බෙත්ලෙහෙමේ ආර්ථිකය බොහෝ සෙයින් සංචාරක කර්මාන්තය මත යැපෙයි. 

නත්තල් පිළිගැනීමට එක්රැස් වී සිටි බොහෝ දෙනා බෙත්ලෙහෙමේ වැසියන් වන අතර විදේශීය සංචාරකයන් සිටියේ අතලොස්සක් පමණි. 

නගර බලධාරීන්ට අනුව බෙත්ලෙහෙමේ විරැකියා අනුපාතය සියයට 14 සිට සියයට 65 දක්වා ඉහළ ගොස් ඇත. යුද්ධය හේතුවෙන් ආර්ථිකය කඩා වැටී ඇති බවත් 4,000කට වැඩි පිරිසක් රැකියා සොයමින් නගරයෙන් පිටව ගිය බවත් බෙත්ලෙහෙමේ නගරාධිපති මහර් නිකෝලා කැනවටි පැවැසීය. 

 

ඡායාරූපය – බෙත්ලෙහෙමේ මේන්ජර් චත්‍රරශ්‍රය, යොස්රි අල්ජමාල්/රොයිටර්ස් (Yosri Aljamal/Reuters)

 

Leave a comment

This website uses cookies to improve your web experience.