Skip links

බ්‍රිතාන්‍ය, පලස්තීන රාජ්‍යය පිළිගනී

බැල්ෆෝර් ප්‍රකාශනයෙන් වසර 108කට පසු බ්‍රිතාන්‍ය, පලස්තීනය රාජ්‍යය නිල වශයෙන් පිළිගනී. 

 

පලස්තීනය නිල වශයෙන් රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව එක්සත් රාජධානිය, කැනඩාව සහ ඔස්ට්‍රේලියාව අද, සැප්තැම්බර් 21 වැනිදා නිවේදනය කළේ ය. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී මෙම ඓතිහාසික තීරණය ප්‍රකාශයට පත් කෙරිණි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ තවත් මිත්‍ර රටක් වන ප්‍රංශය ද, ඉදිරි දිනයකදී පලස්තීනය නිල වශයෙන් පිළිගැනීමට නියමිත ය. 

“අද අපි පලස්තීන සහ ඊශ්‍රායල වැසියන් වෙනුවෙන් සාමයේ බලාපොරොත්තු අලුත් කළා. ඒ වගේම ද්වි-රාජ්‍ය විසඳුමක් වෙනුවෙන් ඇති අපේක්ෂාවත් අලුත් කළා. එක්සත් රාජධානිය අද නිල වශයෙන් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නවා” යැයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කිය ස්ටාමර්, ට්විටර් (එක්ස්) පණිවුඩයක් තබමින් සඳහන් කළේ ය. 

බ්‍රිතාන්‍ය සහ ඊශ්‍රායලය ඉතිහාසය මුළුල්ලේ ම මිතුරන් වූ නමුත් මෙම තීරණයත් සමඟ දෙරට අතර සම්බන්ධතා තවදුරටත් පළුදු වනු ඇතැයි පැවසේ. පලස්තීනය රාජ්‍යයක් බවට පිළිගන්නා බව ප්‍රකාශ කළ අවස්ථාවේ සිට දෙරට අතර අමනාපකම් ඇති වූ අතර ඊශ්‍රායලය මෙම තීරණය දැඩි ලෙස දෝෂාරෝපණය කළේ ය. 

බැල්ෆෝර් ප්‍රකාශනය මුල් කරගනිමින්, පලස්තීනය තුළ යුදෙව් නිජබිමක් ස්ථාපිත කිරීමට සහාය පළ කරන බව බ්‍රිතාන්‍ය රජය 1917 වසරේ දී මුල් වරට ප්‍රකාශ කළේ ය. 

පලස්තීන වැසියන් මෙම සුවිශේෂී අවස්ථාව සමරන්නට අපේක්ෂා කළත් ඔවුන්ට මේ අවස්ථාවේදී එසේ කළ නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විවිධ පාර්ශව සඳහන් කර තිබිණි. 

එමෙන්ම මෙලෙස පලස්තීනය රාජ්‍යයක් ලෙස හඳුනාගැනීම බෙහෙවින් ප්‍රමාද වී ගත් තීරණයක් බවත් මේ අයුරින් පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත්ත ද එයින් පලස්තීන වැසියන් පීඩාවට පත් කිරීම, ඔවුන්ගේ භූමිය අත්පත් කරගැනීම, සාගතය, බ‌ෝම්බ හෙළීම්, සහ ජන සංහාරය නවතින්නේ නැති බවත් එයින් ඇතැම් පිරිස් චෝදනා කළහ. 

සිය කොන්දේසි ඉටු නොවන්නේ නම් පලස්තීන රාජ්‍යයක් ලෙස පිළිගන්නා බව බ්‍රිතාන්‍ය පසුගිය ජූලි මාසයේ දී ප්‍රකාශ කළේ ය. ප්‍රංශය ද ඒ හා සමාන ස්ථාවරයක් ඊට පෙර ප්‍රකාශ කර තිබුණු අතර මෙලෙස පලස්තීනය රාජ්‍යක් ලෙස නිල වශයෙන් පිළිගැනීම සම්බන්ධයෙන් ප්‍රංශය මුල් තැනක් ගෙන කටයුතු කළේ ය. සැප්තැම්බරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගන්නා බව ප්‍රංශය එම අවස්ථාවලදී ප්‍රකාශ කළේ ය. 

බටහිර ඉවුරේ භූමිය තවදුරටත් අත්පත් කර නොගැනීම, ඉක්මනින් සටන් විරාමයකට යමින් ගාසා තීරයේ සටන් නැවැත්වීම, ද්වී-රාජ්‍ය සහ තිරසර සාමයක් වෙනුවෙන් පියවර ගැනීම යනාදිය අදාළ කොන්දේසිවලට ඇතුළත් විය. 

කෙසේ නමුත්, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, සහ ඔස්ට්‍රේලියාව ඇතුළු පලස්තීනය රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සිය දැඩි අප්‍රසාදය ප්‍රකාළ අතර අතර මෙම රටවල් හමාස් සංවිධානයේ පැත්ත ගෙන ඇතැයි ද ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නේ යැයි ද චෝදනා කළේ ය. 

ගාසා නගරය අල්ලා ගැනීම සඳහා ඊශ්‍රායලය මේ වනවිට ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර තිබේ. 

 

ඡායාරූපය : ප්‍රංශ ප්‍රවෘත්ති සේවය (AFP)

Leave a comment

This website uses cookies to improve your web experience.