“පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා” අනුර කුමාර දිසානායක
“ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යනුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා” මහ මණ්ඩල සැසිය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැවැසීය.

“පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නේ” යැයි එක්සත් ජාතීන්ගේ 80 වැනි මහ මණ්ඩල සැසිවාරය අමතමින් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක පැවැසීය.
ඉකුත් වසරේ බලයට පැමිණීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියක් ඇමතූ පළමු අවස්ථාව මෙයයි.
සාම්ප්‍රදායික දේශපාලන පැළැන්තියෙන් බැහැර කණ්ඩායමක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය එම වසරේ නොවැම්බර් මාසයේ දී පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමි කරගැනීමට සමත්විය. දූෂණ විරෝධය ඔවුන්ගේ ප්‍රධාන සටන් පාඨයක් විය.
ශ්‍රී ලංකාව 1988 වසරේ සිට පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගන්නා අතර දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ද සිදු වේ. පලස්තීන තානාපති කාර්යාලයක් ද කොළඹ පිහිටා ඇත.
කෙසේ නමුත් පැවැති ඇතැම් ආණ්ඩු සහ වත්මන් ආණ්ඩුව ද ඊශ්‍රායලය සහ පලස්තීනය සම්බන්ධ ඇතැම් කාරණාවලදී හෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හෝ මැදිහත් වීම්වලදී හෝ ඊශ්‍රායල හිතවාදී පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා එල්ල විය. වත්මන් ආණ්ඩුව ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් ද පලස්තීන හිතවාදී කණ්ඩායම් ආණ්ඩුවට දැඩි ලෙස චෝදනා කළේ ය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කතාවේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යභාරය, අරමුණු සහ අපේක්ෂා, දරුවන්, දරිද්‍රතාවය, පරිසරය, මත්ද්‍රව්‍ය සහ අපරාධ, ජාවාරම්, දූෂණය, ශ්‍රී ලංකාවේ පැවැති මහ මැතිවරණය, ඩිජිටල් ප්රජාතන්ත්රවාදය, ඩිජිටල් පරතරය සහ කෘත්‍රීම බුද්ධිය යන කාරණා රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිණි.
පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය පිළිගන්නවා යැයි ප්‍රකාශ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යානුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා යැයි පැවැසීය.
“පලස්තීන ජනතාවට රාජ්‍යයක් සඳහා ඇති අහිමි කළ නොහැකි අයිතිය අපි පිළිගන්නවා. ඒ වගේම ඊශ්‍රායල සහ පලස්තීන ජනතාව යන දෙපිරිසගේම නීත්‍යනුකූල ආරක්ෂක සහ මානව ගැටලු හඳුනාගත යුතුව තිබෙනවා. 1967 දේශසීමා මත, රාජ්‍ය දෙකක් එකිනෙකට යාබදව පැවතීමේ පදනම සපයන එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව සාධාරණ සහ ස්ථීර විසඳුමක් වෙනුවෙන් එක් විය යුතුව තිබෙනවා. නිරර්ථක යුද්ධයක් හේතුවෙන් මිලියන ගණනක් ලෝක වාසීන්ගේ දුක් වේදනා ඉදිරිපිට හුදු නරඹන්නෙකු බවට පත්ව සිටීම අවසන් කළ යුතු තීරණාත්මක මොහොතකට අපි එළැඹ සිටිනවා. මිනිස් සංහතිය තුළ ලෝකය පීඩාවට පත් කරන යුද ගැටුම්වලට, උමතු ආගමික අන්තවාදයට සහ ජාතිවාදයට බරපතළ ලෙස හේතු වී තිබෙනවා” ජනාධිපතිවරයා කීවේ ය.
ලෝක ජනතාව ගැටුම්වලින් පීඩා විඳින විට එම දුක් වේදනා අවසන් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අපොහොසත් වී ඇතැයි ද දිසානායක මහතා චෝදනා කළේ ය.
“දශක තුනකට වැඩි කාලයක් යුද්ධයේ කටුක ඇත්දැකීම් ලැබූ රටක් ලෙස ඒ විනාශකාරී බව ගැන අපි ඉතා හොඳින් දන්නවා. යුද්ධය නිසා මියගිය දහස් ගණනකගේ සැමරුම් ස්මාරක අසලට පැමිණ ඔවුන්ගේ දෙමාපින්, දූදරුවන්, බිරින්දෑවරු දෑත් එක්කර නඟන වේදනාබර ආයාචනයන් දකින ඕනෑම කෙනෙක් යුද්ධය පිළිබඳ සිහිනයක් දැකීමට පවා අකැමැති වෙනවා. ඒ වේදනාබර දසුන අපි ඇස් දෙකෙන් දැක තිබෙනවා. ගැටුම් නිසා මිනිසුන්ට විඳීමට සිදුව ඇති දුක පෙර නොවූ විරූ මට්ටමට ළඟා වී නොතිබුණත් බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාව මිලියන ගණනක දුක් වේදනා අවසන් කිරීමට අපොහොසත් වූ හුදු නරඹන්නෙකු බවට පත්ව තිබෙනවා” යැයි ජනාධිපතිවරයා පැවැසීය.
ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය දැඩි කනස්සල්ලට හේතු වී තිබෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශවවපාර්ශවවල එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු විය යුතු බව තවදුරටත් අවධාරණය කළේ ය.
“ගාසා තීරයේ අඛණ්ඩව සිදු වන බිහිසුණු ව්‍යසනය අපේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා. විශේෂයෙන් ගාසා තීරය වේදනාබර ඛේදනීය එළිමහන් සිර කඳවුරක් වී තිබෙනවා. අහිංසක දරුවන්ගේ සහ සිවිල් වැසියන්ගේ විලාපය රැව් පිළිරැව් දෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත දෙපාර්ශ්වය කඩිනමින් සටන් විරාමයකට යොමු වීමත්, බාධාවකින් තොරව සියලු මානුෂික ආධාර යොමු කිරීමත්, සියලු පාර්ශ්වයන්ගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමත් පිළිබඳ අපි හඬ නගනවා. මේ බිහිසුණු ඝාතන අවසන් කිරීම උදෙසා අපි දැඩිව බලපෑම් කළ යුතුව තිබෙනවා” හෙතෙම කීය.

සියලු දෙනා යුද්ධය ප්‍රතික්ෂේප කළ යුතු බවත්, සාමයේ මාර්ගය තෝරාගනිමින් ආයුධ මඟින් ප්‍රශ්න විසඳාගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අවතීර්ණ විය යුතුව තිබෙනවා යැයි කීවේ ය.
“ඔබ කුමන රාජ්‍යයක් නියෝජනය කළත් මේ සෑම නියෝජිතයෙකුම යුද්ධය ප්‍රතික්ෂේප කිරීමට මා සමඟ එක් වන බව මට විශ්වාසයි. යුද්ධයක් ප්‍රාර්ථනා කරන ජාතියක් ලොව නැහැ. කොතැනක හෝ කෙසේ හෝ යුද්ධයක් හෝ ගැටුමක් ඇති වුවත් ඒ මගින් සිදු වන්නේ ඛේදවාචකයක් බව අපි දන්නවා. මේ මොහොතේ පවා එම ඛේදවාචකයේ වේදනාව ලෝකයේ බොහෝ තැන්වල අත්විඳිමින් සිටිනවා.
දරුවන්ගේ සහ අහිංසක සිවිල් වැසියන්ගේ ජීවිත එහාට මෙහාට පහර වදිමින් යන පා පන්දුවක් බවට පත් කිරීම අවස්ථාවාදී බල දේශපාලනයේ ඛේදවාචකයක් වෙනවා. තමන්ගේ බලය වැඩි කර ගැනීමට වෙනත් කිසිවෙකුගේ ජීවිතවලට බලපෑම් කිරීමට සහ පීඩා කිරීමට කිසිවෙකුට අයිතියක් නැහැ. පාලකයන් කළ යුත්තේ ජීවිත ආරක්ෂා කිරීම මිස ජීවිත විනාශ කිරීම නොවෙයි.
ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු
ආයුධ මගින් ප්‍රශ්න විසඳා ගන්නවා වෙනුවට මානව ශිෂ්ටත්වයේ වටිනාකම් තුළින් ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව වෙත අපි අවතීර්ණ විය යුතුව තිබෙනවා. මිලියන ගණනක් දරුවන් කුසගින්නේ මිය යන ලෝකයක අපි බිලියන ගණන් ආයුධ වෙනුවෙන් වියදම් කරනවා. නිසි සෞඛ්‍ය පහසුකම් නොමැතිව කෝටි ගණනක් ජනතාව මරණයේ මාවත තෝරා ගන්නා විට නිරර්ථක යුද්ධය වෙනුවෙන් ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. අධ්‍යාපනය නැමැති පියාපත් ලැබිය නොහැකිව ලක්ෂ ගණනක් දරුවන් සුසුම් හෙළන විට භූමි ආක්‍රමණය කිරීමට මිලියන ගණනක් වියදම් කරනවා. ඇත්ත වශයෙන්ම මේ ලෝකයේ සෑම බිම් අඟලක්ම සාමයේ ජනාවාස බවට පත් කළ හැකි නම් ඒ ලෝකය ආශ්චර්යමත් ලෝකයක් බවට පත් වන බව අපි ඒකාන්තයෙන්ම විශ්වාස කරනවා. මේ සමුළුවට එක් වූ අපි සියලුදෙනා ලෝක සාම ජනාවාස බිහි කරන උදාර සාම වන්දනාකරුවන් බවට පත්වෙමු’යි කියා මා යෝජනා කරනවා” ජනාධිපතිවරයා තවදුරටත් පැවැසීය.
