
ශ්‍රී ලංකාවේ අපනයනවලට පැනවූ බද්ද ට්‍රම්ප් සියයට 20කට අඩු කරයි
ශ්‍රී ලංකාවෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයට කෙරෙන අපනයනවලට පැනවු ‘අන්‍යෝන්‍ය තීරුබදු’ සීයයට 20ක් දක්වා අඩු කර ඇත. ද්විපාර්ශවීය වෙළෙඳාමෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට අසාධාරණයක් සිදුව ඇති බවට චෝදනා කරමින්, ඇමෙරිකාවට ආර්ථික නිදහස උදා ගැනීම අරමුණින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙලෙස තීරුබදු පැනවීමට තීරණය කළේ ය.
ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලය සඳහා දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි 21 වැනිදා වන අතර ධුරයේ දිවුරුම් දීමට පෙර සිටම ඔහු මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අදහස් දැක්වීය. ඇමෙරිකා ජනාධිපතිවරයා මුලින්ම අසල්වැසි කැනඩාවටත් මෙක්සිකෝවටත් නව තීරුබදු පැනවූ අතර ඉන් පසු චීනයට තීරු බදු පැනවීය.
ආර්ථික ස්වෛරීත්වය සහ ආර්ථික නිදහස උදා කරගැනීම සඳහා තමන් පියවර ගන්නා බව ඇමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය. ඇමෙරිකා එක්සත් ජනපදයේ “ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත” භාවිත කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙම ක්‍රියාමාර්ග ගත්තේ ය.
ඒ අනුව යමින් ඔහු රටවල් ගණනාවකට බදු පැනවූ අතර ඉන් අනතුරුව අප්‍රේල් මස 2 වැනිදා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳාම් කරන සෑම රටකට සියයට 10ක තීරු බද්දක් පැනවීය. ඔහු එම දිනය, “විමුක්ති දිනය” යනුවෙන් ද නිවේදනය කළේ ය.
ඉන් අනතුරුව රට රටවලට වෙන වෙනම තීරුබදු පැනවීය. සියයට 10ක තීරුබද්ද අප්‍රේල් මස 5 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත්, රට රටවලට පැනවූ තීරුබදු අප්‍රේල් මස 9 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය. ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 44ක බද්දක් පැනවිණි.
කෙසේ නමුත් ඒ පරිදි අප්‍රේල් මස 9 වැනිදා සිට ක්‍රියාත්මක නොවූ අතර ඇමෙරිකා එක්සත් ජනපදය සහ අනෙකුත් රටවල් අතර වෙළෙඳ සාකච්ඡා ආරම්භ විය. අවසාන එකඟතාවයකට පැමිණීම සඳහා ජූලි 9 වැනිදා දක්වා මාස තුනක් කාලයක් ලබාදෙන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
ජූලි 9 වැනිදා ළඟා වනවිට ඇමෙරිකානු ජනාධිපතිවරයා රටින් රටට ලිපි යවමින්, ඒ ඒ රටවලට වෙන වෙනම තීරුබදු පැනවීය. ඒ අනුව ශ්‍රී ලංකාවට සියයට 30ක තීරුබද්දක් පැනවිණි. ඒ අවස්ථාවේදී නැවත සාකච්ඡා සඳහා අවස්ථාව ලැබුණු අතර ඒ සඳහා ඇති අවසාන දිනය ජූලි 31 වැනිදා බවත්, ඒ වනවිට එකඟතාවයකට පැමිණීමට නොහැකි නම්, අගෝස්තු මස 1 වැනිදා සිට, ජූලි මස 9 වැනිදා පැනවූ බද්ද ක්‍රියාත්මක වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසීය.
ඒ අතරවාරයේ දී රටවල් කිහිපයක් ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ වෙළෙඳ ගිවිසුම්වලට එළැඹුණු අතර මෙම තීරුබදු අඩුකරගැනීමට සමත් විය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා ජූලි 31 වැනිදා විධායක නියෝගයක් නිකුත් කරමින් නව තීරුබදු ප්‍රතිශත නිවේදනය කළේ ඒ අනුව ය. එම විධායක නියෝගයට අනුව ශ්‍රී ලංකාවේ අපනයන මත සියයට 20 ක බද්දක් පැනවෙනු ඇත.
ඉන්දියාවට සියයට 25ක බද්දක් පනවා ඇති අතර, බංග්ලාදේශය, වියට්නාමය, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, පාකිස්තානය යන රටවලට පනවා ඇති බද්ද සියයට 19කි.