ගෝලීය දකුණ පුරා තරුණ නැගිටීම් පැතිරෙයි : ජෙන් Z අලුත් පාලනයක් ඉල්ලයි
දේශපාලන තන්ත්‍රය තුළ වෙනසක් ඉල්ලමින්, ගෝලීය දකුණ පුරා විරෝධතා රැල්ලක් පැතිර යමින් තිබෙන අතර, තරුණ තරුණියන් විශේෂයෙන් ම “Z” පරම්පරාව මේවායේ මූලිකත්වය ගෙන ඇත. දේශාපලන සහභාගීත්වය, පාලන තන්ත්‍ර, අධ්‍යාපන සහ රැකියා අවස්ථා මෙන්ම නිදහස සහ වංචා දූෂණවලින් තොර පාලනයක් යනාදිය මෙම විරෝධතාවල ප්‍රධාන ඉල්ලීම් බවට පත්ව තිබේ.
සැප්තැම්බර් මාසය මුලදී විරෝධතා හේතුවෙන් නේපාල පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුව වූ අතර ඒ හා සමාන සිදුවීම් මේ වනවිට මොසැම්බික්, කෙන්යාව, පේරු සහ ඉන්දියාවේ ලඩාක් කලාපයෙන් වාර්තා වෙමින් තිබේ. මෙම විරෝධතා හේතුවෙන් ගෝලීය දකුණ තුළ පමණක් නොව ගෝලීයව දැඩි සංවාදයක් නිර්මාණය කර තිබෙන අතර තරුණ තරුණියන්ගේ අභිලාෂ, බලාපොරොත්තු සහ ඔවුන්ගේ ලැදිකම් සම්බන්ධයෙන් අලුතෙන් සිතන්නට ලෝකය පොළඹවා ඇත.
“Z”(ඉසෙඩ්) පරම්පරාව නැතිනම්, ‘ජෙන් සී’ මෙම බොහෝමයක් විරෝධතාවල මූලිකත්වය ගෙන තිබේ.
ආර්ථික අර්බුදය, ප්‍රභූ දේශපාලන තන්ත්‍ර, වංචා, දූෂණ සහ අල්ලස් යනාදියෙන් ජරාජීර්ණ වූ ආණ්ඩු යනාදියට විරුද්ධව තරුණ තරුණියන්ගේ මූලිකත්වයෙන් 2022 වසරේ දී ශ්‍රී ලංකාවේ ඇති වූ විරෝධතා සහ දීර්ඝකාලීන පාලන තන්ත්‍රයක් බිඳ දමමින් 2024 දී බංග්ලාදේශයේ ඇති වූ විරෝධතාවල වර්ධනයක් හා ප්‍රවණතාවයක් ලෙස මෙම නව විරෝධතා පෙන්වාදිය හැකි ය. නේපාලයේ පැවැති පාලනය බිඳ වැටී මේ වනවිට මාසයකටත් වඩා වැඩි කාලයක් ගත වී තිබේ. ලොවපුරා විසිරී සිටින ඉසඩේ (Z) පරම්පරාවේ තරුණ තරුණියෝ අද වනවිට විනිවිදභාවය, සාධාරණත්වය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සඳහා අර්ථවත් සහභාගීත්වය ඉල්ලා සිටිති.
මොසැම්බික් සහ කෙන්යාව තුළ ක්‍රියාත්මක විරෝධතා, රැකියා වියුක්තිය, දූෂණය සහ පොලිසියේ කෲරත්වය යන කාරණා වටා කේන්ද්‍ර වී ඇති අතර පාරිසරික හායනය සහ අත්තනෝමතික මර්දනවලට එරෙහිව පේරු හි සිසුහු එක්රැස්ව සිටිති. කාලයක් මුළුල්ලේ තමන් ඉදිරිපත් කළ දුක්ගැනවිලිවලට විසඳුම්වලට නොලැබීම ඉස්මතු කරමින් සහ කලාපීය ස්වාධීනත්වය හා පාරිසරික යුක්තිය ඉල්ලමින් ඉන්දියාවේ ලඩාක් කලාපයේ තරුණ තරුණියෝ පෙළපාලි යති.
සාම්ප්‍රදායික දේශපාලන පද්ධති කෙරෙහි ඇති පොදු කලකිරීමත්, 21 වැනි සියවසේ නායකත්වය නැවත අර්ථ ගැන්වීමට ඇති අවශ්‍යතා මෙම විරෝධතාවලින් නැවත නැවත පෙන්නුම් කරයි. විමධ්‍යගත සංවිධානය, දැඩි හා හදිසි අවශ්‍යතාවය, තරුණ නායකත්වය යනාදිය මත පදනම් වී ඇති මෙම විරෝධතා රැල්ල ගෝලීය පාලන තන්ත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුවහන් කරනු ඇත.
මෙම විරෝධතා රැල්ල ගෝලීය දකුණේ, ඉසෙඩ් පරම්පරාව මගින් බලගැන්වෙන නව දේශපාලන යුගයක ආරම්භය ද ? යන්න දේශපාලන විචාරකයන් සහ විශ්ලේෂකයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන ඇත. වත්මන් සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ මෙම විරෝධතා වේගවත් සිදුවීම් දාමයක ආරම්භය, පටන් ගෙන ඇති බව ය.
