Skip links

ඉන්දුනීසියාවේ විරෝධතා උත්සන්න වෙයි : තිදෙනෙක් මරුට 

රිය අනතුරකින් කුලී රථ රියදුරකු මරණයට පත්වීමත් සමඟ ඉන්දුනීසියාවේ ඇති වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. 

ඉන්දුනීසියානු පොලිසියට අයත් රථයක්, කුලී රථ රියදුරකු හප්පාගෙන යෑමත් සමඟ මෙම ප්‍රචණ්ඩකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ. පොලිසියට විරෝධය පළ කරමින් මේ වනවිට ඉන්දුනීසියාව පුරා විරෝධතා ඇති වී තිබේ. 

රිය අනතුරින් මරණයට පත්වූයේ 21 හැවිරිදි, අෆාන් කුර්නිවාන් ය. 

වැඩි වැටුප් ඉල්ලමින් සහ දේශපාලනඥයන්ගේ වියදම් කප්පාදු කරන්නැයි බල කරමින් ඉන්දුනීසියාව තුළ විටින් විට විරෝධතා පැවැත්විණි.  

පොලිසිය, කුලී යතුරුපැදිකරු හප්පාගෙන යෑමත් සමඟ පැවැති විරෝධතා ද උත්සන්න විය. මේ වනවිට රට පුරා පැවැත්වෙන විරෝධතා තීව්‍ර වී තිබෙන අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ද ඇති වී තිබේ. විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා ඉන්දුනීසියානු බලධාරීන් කැරැලි මර්දන පොලිසිය ද යොදවා ඇත.

විරෝධතා අතරවාරයේ දී තිදෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ. විරෝධතාකරුවන් නැගෙනහිර ඉන්දුනීසියාවේ රජයට අයත් ගොඩනැගිල්ලකට ගිනි තබා ඇතැයි ද සෙනසුරාදා පස්වරුවේ වාර්තා විය.  

මෙම විරෝධතා, ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියැන්තෝ පරීක්ෂාවට ලක් කරනු ඇතැයි විචාරකයන්ගේ අදහස වී තිබේ. 

ජනාධිපතිවරයා, යතුරුපැදිකරුගේ නිවසට ගොස් ඔහුගේ පවුලේ සාමාජිකයන් මුණ ගැසී කණගාටුව ද පළ කර තිබිණි. 

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා, නිල සංචාරයක් සඳහා සෙනසුරාදා චීනයට යෑමට නියමිතව තිබූ අතර විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගැනීම නිසා ඔහු එම සංචාරය ද අවලගු කළේ ය. 

පොලිසියට සිය විරෝධය පළ කරමින්, ඉන්දුනීසියාවේ සිසු සිසුවියෝ සහ කුලී රථ රියදුරෝ බාලි නුවර පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරියට එක් රැස් වී විරෝධතාවල නිරත වෙති. 

බාලි යනු ඉන්දුනීසියාවේ වඩාත් ආකර්ෂණීයම සහ ජනප්‍රියම සංචාරක ස්ථානයයි. 

මේ ආකාරයෙන් ඉන්දුනීසියාවේ නගර රැසක විරෝධතා පැවැත්වෙන අතර, සිකුරාදා (29) ජකර්තා අගනුවර දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි. 

සන්සුන්ව කටයුතු කරන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කළ ඉන්දුනීසියානු ජනාධිපතිවරයා රිය අනතුර සම්බන්ධයෙන් සහ ඊට අදාළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ද නියෝග කර ඇත. පොලිස් නිලධාරීන් වරදක් කර ඇත්නම් ඊට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කර ඇත. 

 

Leave a comment

This website uses cookies to improve your web experience.