Skip links

ගාසා තීරයේ ‘කුසගින්න’ උග්‍ර අතට

සටන් විරාමයක් ප්‍රකාශ කර තිබුණ ද සාගතයෙන් පීඩා විඳින ගාසා තීරයේ ජනතාවට ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආධාර ලබාදීමේ කටයුතුවලට ඊශ්‍රායලය තවමත් අත්තනෝමතික ලෙස බලපෑම් කරන බව ආධාර ලබාදීමේ කටයුතුවලට සම්බන්ධ වී සිටින සංවිධාන චෝදනා කරයි. 

ඔක්ස්ෆෑම් සහ නෝර්වේජියානු සරණාගත කවුන්සිලය ඇතුළු සංවිධන 41ක් විවෘත ලිපියක් යොමු කරමින් ඊශ්‍රායලයට මෙම චෝදනාව එල්ල කර තිබේ. 

ගාසා තීරයේ ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට නොහැකි වී ඇති බව ද එම සංවිධාන සඳහන් කර ඇත. 

සටන් විරාමය ක්‍රියාත්මක වුව ද ගාසා තීරයේ ජනතාවගේ කුසගින්නේ අඩුවක් වී නැති බවත් තවමත් ප්‍රමාණවත් පරිදි පලස්තීන වැසියන්ට ආහාර නොලැබෙන බවත් කුසගින්නේ පෙළෙන ජනතාවගේ ප්‍රමාණය ඉතා අධික බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ අතරවාරයේ දී සඳහන් කළේ ය. 

පලස්තීන භූමියට ඇතුළු වීම සඳහත් ඊශ්‍රායලය තවමත් විවෘත කර ඇත්තේ ප්‍රවේශ මාර්ග දෙකක් පමණක් බවත් ගාසා තීරයට දෛනිකව ආහාර ටොන් 2,000ක් ලබාදීමට යෝජනා වුවත් පලස්තීන වැසියන්ට ලැබෙන්නේ ඊට අඩුවෙන් බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නිලධාරීහු පැවැසූහ. 

“ගාසා තීරයේ තත්ත්වය එන්න එන්නම ව්‍යවසනකාරී තත්ත්වයක් බවට පත්වෙමින් තිබෙනවා. ගාසා තීරයට ඇතුළුවන ආහාර හෝ ඒ ද්‍රව්‍ය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ” යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් අදනොම් ග්‍රේබියේසස් පැවැසීය. 

ගර්භනී කාන්තාවන් 11,500ක් ද ඇතුළුව ගාසා තීරයේ ජනගහනයෙන් අවම වශයෙන් හතරෙන් එකක් පමණ සාගතයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉකුත් බදාදා සඳහන් කළේ ය. ගාසා තීරයේ පවතින මෙම සාගත තත්ත්වය නිසා, පරම්පරා ගණනාවකට මන්ද පෝෂණයෙන් බලපෑම් එල්ල වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඇන්ඩෲ සැබර්ටන් බදාදා පැවැසීය. 

අලුත උපන් බිළිඳුන්ගෙන් සියයට හැත්තෑවක් නොමේරූ හෝ අඩු බර යැයි ද එය 2023 ඔක්තෝබර් මාසයට පෙර කාලය හා  සැසඳීමේදී සියයට 20ක වැඩි වීමක් යැයි ද ඔහු කීවේ ය. 

“මන්දපෝෂණය මවට නොව, අලුත උපන් බිළිඳාට පරම්පරාගතව බලපෑම් කරන්න පුළුවන්. එහි ප්‍රතිඵලයක් ලෙස දිගුකාලීන රැකවරණයක් සහ දරුවාගේ ජීවිත කාලය පුරාම ගැටළු ඇති වෙන්න පුළුවන්” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ඉකුත් අගෝස්තු මාසයේ දී ගාසා නගරය සහ ඒ අවට ප්‍රදේශය ‘සාගතයෙන්’ පෙළෙන ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අතර, ගාසා තීරයේ 500,000 වැඩි පිරිසක් මෙම ‘ව්‍යවසනකාරී තත්ත්වයට’ මුහුණ දුන් බව  ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය එකල සඳහන් කළේ ය.  

ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් පලස්තීන-ගාසා තීරයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණි. ඔක්තෝබර් 10 වැනිදා මෙම සටන් විරාමය ආරම්භ වූ නමුත් තවමත් ගාසා තීරයේ තත්ත්වය ඉතාම ව්‍යවසනකාරී තත්ත්වය තිබෙන බව පලස්තීනයේ රාජ්‍ය නොවන සංවිධානයක් පාර්ක් (පී.ඒ.ආර්.සී) හී බාහිර සම්බන්ධතා අධ්‍යක්ෂ බහා සකවුට් පැවැසීය. 

 

ඡායාරූපය: රොයිටර්ස් (Palestinian woman Nisreen holds the hand of her son Majd Salem, a six-month-old malnourished Palestinian baby who weighed 3.5kg when he was born and gained just 300 grams in six months, at Kamal Adwan hospital in the northern Gaza Strip, May 9, 2024 [File: Mahmoud Issa/Reuters])

 

Leave a comment

This website uses cookies to improve your web experience.