නේපාලයේ විරෝධතා අතරවාරයේදී 19ක් මරුට
නේපාල රජයේ සමාජ මාධ්‍ය තහනමට සහ දූෂණයට එරෙහිව පැවැති විරෝධතා අතරවාරයේ දී 19 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.
නේපාල බලධාරීන් සහ එරට මාධ්‍ය වාර්තා ද උපුටා දක්වමින්, අල්ජසීරා වෙබ් අඩවිය ඒ බව වාර්තා කර තිබේ.
නේපාලය තුළ ලියාපදිංචි නොවන සමාජ මාධ්‍ය තහනම් කිරීමට පියවර ගන්නා බව එරට රජය ඉකුත් සතියේ දී ප්‍රකාශ කළ අතර ඊට එරට තරුණ පිරිස්වලින් දැඩි විරෝධයක් එල්ල විය.
තහනම් කළ යුත්තේ සමාජ මාධ්‍ය නොව, රටේ ක්‍රියාත්මක දූෂණය යැයි එරට ජනතාවගෙන්, විශේෂයෙන්ම තරුණ පිරිස්වලින් චෝදනා එල්ල විය.
මෙවැනි පසුබිමක, නේපාලයේ කත්මණ්ඩු අගනුවරත් තවත් නගර කිහිපයකත් තරුණ පිරිස්වල මූලිකත්වයෙන් විරෝධතා පැවැති අතර, ඒ විරෝධතා ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට හැරුණු බව නේපාල මාධ්‍ය වාර්තා කළේ ය.
විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා ඇති අතර, කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ද භාවිත කර ඇත.
බාධක කඩා බිඳ දමමින් ඇතැම් තරුණ කොටස්, කත්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට උත්සාහ කළ බව නේපාල නිලධාරියකු උපුටා දක්වමින් අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කළේ ය.
පොලිසිය කිසිදු වගවිභාගයක් නොමැතිව වෙඩි තැබූ බව එක් විරෝධතාකරුවෙක් ඒ.එන්.අයි. ප්‍රවෘත්ති සේවයට පැවැසීය.
“පොලිසිය වෙඩි තිබ්බා. මට වැදුණේ නෑ. හැබැයි මගේ ළඟ හිටපු යාළුවාට වැදුණා. ඔහුගේ අතට වෙඩි වැදුණා” යැයි හෙතෙම කීය.
කත්මණ්ඩු නුවර ප්‍රධාන රෝහලකදී පුද්ගලයන් හත්දෙනකු මියගිය බව එහි වෛද්‍යවරයකු ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණි.
බොහෝ දෙනාගේ තත්ත්වය බරපතළ බවත්, ඇතැම් අයගේ හිසට හෝ පපුවට හෝ වෙඩි වැදී ඇති බවත් ඔහු පවසා තිබිණි.
පොලිස් නිලධාරීන් 28 දෙනකුද ඇතුළුව 100කට වැඩි පිරිසක් තුවාල හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව ෂෙකර් කනාල් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවයට පැවැසීය.
නැගෙනහිර නගරයක් වන ඉටාහරී හි විරෝධතා ප්‍රචණ්ඩකාරී වීමත් ඇති වූ ගැටුම්වලදී දෙදෙනකු මියගිය බව ද ඔහු කීය.
මෙම විරෝධතා ඇති වීමට මූලික වූයේ සමාජ මාධ්‍ය තහනම විය හැකි නමුත්, ඊට ප්‍රධාන වශයෙන් හේතුවන කාරණා රැසක් තිබෙන බවත් ඇතැම් ඒවා මුල් බැසගත් ප්‍රශ්න බවත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කත්මණ්ඩු නුවර කේන්ද්‍ර කරගත්, ප්‍රතිපත්ති සහ පර්යේෂණ අධ්‍යයන ආයතනයක ප්‍රධානියකු වන අනුරාග් ආචාර්යා පැවැසීය.
මෙම විරෝධතාවල මූලිකත්වය ගෙන ඇත්තේ ඉසෙඩ් පරපුර (Gen Z) යැයි ද නේපාල මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“මේ පරපුර හැදී වැඩුණේ බොහෝ බලාපොරොත්තු ඇතිව. ඔවුන් අලුත් නේපාලයක් ගැන සිහින දැක්කා. කොහොම නමුත් අලුත් ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරලා දැන් දශකයක් ගිහිල්ලා. ඒත් ඒ සිහින තාමත් අත්පත් කරගන්න බැරි තරම් දුරින් තියෙන්නේ” යැයි අනුරාග් ආචාර්යා කීවේ ය.
“Gen Z පරම්පරාවට රැකියා අවස්ථා සීමා වෙලා. ඔවුන්ට නේපාලයේ ජීවත් වීම දුෂ්කර වෙලා. දහස් ගණනක් අධ්‍යාපනය ලබන්න හෝ රැකියාවක් කරන්න නේපාලය අත්හැර දමා යනවා. ආණ්ඩු අස්ථාවර වෙලා. දූෂණය උත්සන්න වෙලා. නිරන්තරයෙන් ආණ්ඩු මාරුවෙනවා” යැයි අනුරාග් ආචාර්ය අල්ජසීරා වෙත පැවැසීය.
මෙම විරෝධතාවල පාසල් සිසු සිසුවියන් ද, උසස් අධයාපනය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද එක්ව සිටි බව නේපාල මාධ්‍ය වාර්තාවල දැක්විණි. ඔවුන්, ඔවුන්ගේ නිල ඇඳුම්වලින් විරෝධතාවලට එක්ව සිටි බව කියැවිණි. “දූෂණයට එරෙහිව තරුණයන්”, “සමාජ මාධ්‍ය තහනම ඉවත් කරනු”, “සමාජ මාධ්‍ය නොවන දූෂණය තහනම් කරනු” යන සටන් පාඨ කියමින් කත්මණ්ඩු නුවර පාගමනින් යමින් විරෝධතාවල නියැළුණි.
අල්ජසීරා සහ පුවත් කාර්යාංශ වාර්තා ඇසුරිනි / ඡායාරූපය ඒ.එෆ්.පී.
