කඳු අතරින් හමන සීතල සුළං හරිම අමුතුයි මචං
හරිත දහනායක
නේපාලයේ විරෝධතා, අඟහරුවාදා පස්වරුව වනවිට දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයකට සහ ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබිණි. තරුණ විරෝධතාකරුවන්, පාර්ලිමේන්තුව, අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය යනාදී ගොඩනැගිලිවලට කඩා වැදී තිබූ අතර අමාත්‍යවරුන්ට ප්‍රහාර එල්ල කරන ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
රට තුළ ලියාපදිංචි නොවන සමාජ මාධ්‍ය ජාල/වේදිකා අවහිර කිරීමට පියවර ගන්නා බව නේපාල රජය පසුගිය සතියේ දී ප්‍රකාශ කළේ ය. ඊට තරුණ ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය. තරුණ ප්‍රජාව පමණක් නොව අනෙක් පිරිස් ද රජයේ තීරණය විවේචනය කර තිබිණි. නේපාල රජය ගත් මෙම තීන්දුව එරට ජනතාව, විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර තිබෙන අපේක්ෂා විරහිත බවත්, දූෂණය සහ දේශපාලන පැළැන්තිය සම්බන්ධයෙන් ඇති විරෝධය සහ අප්‍රසාදයත් උත්සන්න කිරීමට හේතු විය.
ඒ අනුව නේපාලයේ ඉසෙඩ් පරපුර සැප්තැම්බර් 8 වැනිදා වීදිවලට පැමිණ විරෝධය පළ කරන්නට පටන් ගත් අතර, ඊට තරුණ පිරිස් පමණක් නොව අනෙක් පිරිස්වලද සහාය ද හිමිවිය. තරුණ පරපුර විරෝධතාවල මූලිකත්වය ගත් අතර, තමන්ගේ විරෝධය සමාජ මාධ්‍ය අවහිරයට පමණක් නොව රටේ මුල් බැසගෙන තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබීමත්, දූෂණය සහ දේශපාලකයන්ගේ වගකීම් විරහිත ක්‍රියාවලියට බවත් විරෝධතාකරුවෝ ප්‍රකාශ කළහ. සඳුදා පැවැති විරෝධතා අතරවාරයේදී ඇති වූ ගැටුම්වලින්, 20කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වී ඇතැයි නේපාල මාධ්‍ය වාර්තා කළේ ය.
ඉදිරියේදී නේපාලයේ සිදුවෙනු ඇතැයි උපලක්පනය කරමින් මම ඉකුත් සතියේ දී ෆේස්බුක් සටහනකට යෙදු ප්‍රතිචාරයකට පිළිතුරක් ලීවෙමි.
එය අද වනවිට මහා අවාසනාවන්ත උපකල්පනයක් බවට පත්ව තිබේ. අප ඇතැම් විට උපකල්පන සිදු කරන්නේ එසේ වීමේ අපේක්ෂාවෙන් නොව, එවැන්නක් සිදු නොවේවා යන බලාපොරොත්තුව සහ අපේක්ෂාව ඇතිවය. ඇතැම් විට එවැන්නක් වළක්වා ගැනීමේ අදහස ඇතිවය. නේපාලයේ මෙම සිදුවීම් සම්බන්ධයෙන් බරපතළ, බැරෑරුම් ලොකු වචනවලින් ලොකු තර්කවලින් ලියන්න මට ඒ හැටි අදහසක් නැත. එහෙත් සරලව, මට අවබෝධ වන මට හිතෙන අදහස මෙයයි.
සමාජ මාධ්‍ය සම්බන්ධයෙන්, අප ශ්‍රී ලංකාව තුළ අප දන්නා සිංහලයෙන් කතා බහ කරන්නට පටන් ගත් කාලයේ එය එක් පන්තියක කිහිපදෙනකුගේ පෞද්ගලික බූදලයක් බවට පත්ව තිබිණි. දිනෙක මා වැඩ කරන ආයතනයේ, ප්‍රධානියා මට ඔහුගේ කාර්යාලයට කතා කර ‘සෝෂල් මීඩියා’ සම්බන්ධයෙන් අසවලාගෙන් අසා දැනගන්න යැයි පැවැසීය. සමාජ මාධ්‍ය එකල, ඔවුන්ගේ සමාජ පැළැන්තිය ‘මේන්ටෙන්’ නැතිනම් නඩත්තු කරන ලද ‘මෙවලමක්’ විය.
ඉන් වසර කිහිපයක් ගෙවී ගිය දිනෙක, නිවසට වී මම මගේ දුරකතනයට හිස ඔබාගෙන සිටියෙමි.
මිනිසෙක් උඩ වැඩය.
“අපේ ගෙදර පේන්ට් වැඩ කරන බාසුන්නැහි මල්ලි පලංචිය උඩ ඉඳන් මට කතා කරනවා”.
“සර්, දැක්කද මේ පෝස්ට් එක…”
ඔහු, ඔහුගේ කෙටි විවේකයේදී අතට ගත්තේ ජංගම දුරකතනයයි. “ෆේස්බුක් එකේ උඩ පහළ යනවා” යනවා මම අනුමාන කළෙමි.
සමාජ මාධ්‍ය මේ පොළවේ, පැළවෙලා ඉන්නා මිනිස්සුන්ගේ ඔළුව ඇතුළට කිඳා බැස ඇති බව මට වඩාත් හොඳින් අවබෝධ වූයේ එදා ය. අපි, අප දන්නා භාෂාවෙන් කතා කළ සමාජ මාධ්‍ය පාර තොටේදී ගැටෙන මිනිස්සුන්ගේ ජීවිතයේ කොටසක් වී ඇති බවත් වඩාත් තේරුම් ගියේ එදා ය.
මීට දශකයකට පෙර, 2015 ජනවාරි මාසයේ දී ජනාධිපතිවරණයක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන ඉතිහාසය සැලකිල්ලට ගැනීමේදී එය තීරණාත්මක ජනාධිපතිවරණයක් විය. එම මැතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූ අතර, මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරය හැර ගියේ ය. එදින දක්වාම, වසර ගණනාවක් මහින්ද රාජපක්ෂ දැවැන්ත බලයක් හෙබවීය. මෙම ඡන්දයේ අවසාන ප්‍රතිඵලයට හේතුවූයේ සමාජ මාධ්‍ය ඇතුළේ සිද්ධ වූ ‘කතාබහ’, ‘කැම්පේන්’ බව ඔවුන් දෙදෙනාම පිළිගන්නවා ඇති. ජනාධිපතිවරණ ප්‍රතිඵලය නිකුත් වීමෙන් පසු ඔවුන් දෙදෙනාම නිකුත් කරන ලද ප්‍රකාශවල ඒ බව විශේෂයෙන් සඳහන් කර තිබිණි.
රටක නායකයා වෙනස් කරන්නට, පත් කරන්නට, කෙනකු ගෙදර යවන්නට තරම් මේවා ප්‍රභල ද ?
ඔබට අදටත් මේ සම්බන්ධයෙන් මත දෙකක් තියෙන්නට පුළුවන් කමක් නැහැ.
ඒ මේ රටේ දෙවැනි වතාවටත් නායකයකු ගෙදර යැවීමේ ක්‍රියාදාමයේ මාධ්‍ය ගනුදෙනුව සිදුවුණේ සමාජ මාධ්‍ය ඇතුළේ බව දන්නා නිසා.
එහි ඇති උත්ප්‍රාසය නම් ඒ අවස්ථා දෙකටම මුහුණ දෙන්නට සිද්ධ වූයේ රාජපක්ෂ කෙනෙකු වීම ය. අනෙක් අතට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයකු මුලින්ම හදාගත් ට්විටර් ගිණුම්වලින් එකකට හිමිකම් කියන්නේ ‘මහින්ද රාජපක්ෂ’ වීම ද විශේෂත්වයකි.
ඔන්න ඕකයි ප්‍රශ්නෙ,
එය එසේ නම්, සමාජ මාධ්‍ය සමඟ ගනුදෙනු කරනවා ද, ඊට අත තබා බලනවාද, යන අදහස පාලකයාගේ මනසට එන්නේ නිකන්ම නොවේ. ‘හෙට මේකෙන් මටත් කෙළවයිද ?’ යන අදහස ලෝකයේ ඕනෑම ජගතෙකුගේ හිතේ පහළ වනු ඇත.
එම නිසා, ‘ඉතින් මේකට මුට්ටිය දාල බලන්නෙ කොහොමද? නැත්තන් ට්‍රයල් එකක් බලන්නෙ කොහොමද වගේ’ අදහසක් ඇති වීම වැළැක්විය නොහැකියි. එවැනි අවස්ථාවකදී, එය අත්හදා බැලීමේ බිමක් අපට අවශ්‍ය වේ. ‘ඒ බිමේ තමා මේ වෙලාවෙ ඒ වන දේ වෙමින් පවතින්නෙ’.
දිනුම් පැරැදුම් කෙසේ වෙතත් මෙහි අවසාන ප්‍රතිඵලය සමාජ මාධ්‍යවල හෙට දවස කොතනටද? වාරණයේ සීමා කොයිතරම්ද? හිච්චි ආණ්ඩුවලටත් කරදරයක් වගේනම් නේපාලෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්ද ? යනාදී වශයෙන් අප අපේක්ෂා නොකරන, අප නොහිතන පැතිවලට මෙම අදහස් සහ සිතුවිලි පැතර යනු ඇත.
ඒ නිසා නැවත නැවතත් කියන්නට ඇත්තේ, ආර්ථික, දේශපාලන, සමාජයීය යනාදී මොනයම් කෝණයෙන්, සරලව මොන ‘අටමගලෙන්’ බැලුවද අවසානයේ දී සමාජ මාධ්‍ය අයිති වන්නේ, මේ ලෝකය අයිති වන්නේ ජනතාවටය, මිනිස්සුන්ටය. ලෝකයත් සමඟ ඉදිරියට තරුණ පරපුරටය. උපදින්න ඉන්න ඈයෝන්ට ය.
එම නිසා කාට හෝ අවශ්‍ය නම් උත්සාහ කර බැලිය හැකි ය. නේපාලයේ වගේ අත්හදා බලන්න හැකි ය. මිනිස්සු ලෝකයෙන් ඈත් කිරීමට උත්සාහයක් කර බැලිය හැකි ය.
නැවතත් කියන්නට ඇත්තේ,
“සීතල හුළං හරිම අමුතුයි…. මට නේපාලයේ දී මනුස්සයකු සීතලෙන් පරෙස්සම් වෙන හැටි කීවේ මෙහෙමයි”.
“සීතල හුළංවලින් බේරෙන්න නම්…., ඔළුවයි, බෙල්ලයි පරෙස්සම් කරගන්න”.
