Skip links

ඇමෙරිකාව, පලස්තීන ජනාධිපති අබ්බාස් ට ‘දොර වසයි’

පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස්ට, නිව්යෝක් නුවරට පැමිණීමට ඉඩ නොදෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය පවසා ඇත. 

සැප්තැම්බර් මාසයේ දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියට සහභාගී වීම සඳහා පලස්තීන පාලනාධිකාරියේ ජනාධිපති මහ්මූද් අබ්බාස් කළ වීසා ඉල්ලීම ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. 

මෙවර එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසියේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ මිත්‍ර රටවල් කිහිපයක් ද, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිතව තිබේ. 

පලස්තීන ජනාධිපතිවරයාට අමතරව, පලස්තීන නිලධාරීන් 80 දෙනකුට ද වීසා ලබා නොදුන් බව ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත. 

මොවුන් පලස්තීන විමුක්ති සංවිධානයේ සහ පලස්තීන පාලනාධිකාරියේ සාමාජිකයෝ ය. බටහිර ඉවුරේ පාලනය හොබවන්නේ, පලස්තීන පාලනාධිකාරියයි. 

මෙවර මහ මණ්ඩල සැසියේදී බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගැනීමට නියමිතව තිබේ. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණය, එක්සත් ජාතීන්ගේ “මූලස්ථාන ගිවිසුම” උල්ලංඝණය කරන්නේ යැයි මේ සම්බන්ධයෙන් සිය කනස්සල්ල සහ විරෝධය පළ කරමින් පලස්තීන ජනාධිපතිවරයාගේ කාර්යාලය සඳහන් කළේ ය. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1947, “මූලස්ථාන ගිවිසුම”ට අනුව නිව්යෝක් නුවර, එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයට පැමිණීම සඳහා රාජ්‍ය නායකයන්ට, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට අවසර ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය බැඳී සිටියි. 

කෙසේ නමුත් ආරක්ෂාව, අන්තවාදය සහ විදෙස් ප්‍රතිපත්ති යයන කාරණා මුල් කරගනිමින් වීසා ලබා නොදීමට තමන්ට හැකි බව ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත. 

වීසා ලබා නොදීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කළ අබ්බාස් ගේ ප්‍රකාශක නබීල් අබු රුඩෙයිනේහ් පැවැසීය. 

යුරෝපීය විදේශ අමාත්‍යවරු කිහිපදෙනෙක්ම ඇමෙරිකාවේ මෙම තීරණයට සිය විරෝධය පළ කර තිබිණි. 

ප්‍රවේශ වීමට නොහැකි වීම යන කාරණය මත එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය කිසිවකුටත් සීමා නොවිය යුතු බව ඇමෙරිකා එක්සත් ජනපදයේ තීරණයට විරෝධය පළ කරමින්, ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍ය ජොන් නොයෙල් බැරෝ පැවැසීය. 

යුරෝපා සංගමය හැකි සෑම ආකාරයකින්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ මෙම තීරණයට විරෝධය පළ කළ යුතු යැයි අයර්ලන්ත විදේශ අමාත්‍ය සයිමන් හැරිස් පැවැසීය. 

මෙය අසාධාරණ තීරණයක් බවත්, ස්පාඤ්ඤය ඊට විරෝධය පළ කරන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එරට අග්‍රාමාත්‍ය පෙද්‍රෝ සැන්චේස් කීය. 

ආරක්ෂාව, අන්තවාදය සහ විදෙස් ප්‍රතිපත්ති යන කාරණා මුල් කරගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය කළ චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද පලස්තීන බලධාරීහු ප්‍රකාශ කළහ. 

පලස්තීනය ඒකමතිකව රාජ්‍යයක් ලෙස හඳුනාගැනීමට උත්සාහ කරන බවත්, අන්තවාදය අතුගා දැමීමට පලස්තීන පාලනාධිකාරියට නොහැකි බවත් පවසමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය තීරණය සාධාරණීයකරණය කළේ ය. 

ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් කරන සියලු සාකච්ඡා අසාර්ථක වූ බවත් ඊශ්‍රායලය බලහත්කාරයෙන් භූමිය අත්පත් කරගැනීම නැවැත්වීමට ඇමෙරිකාව අපොහොසත් වූ බවත් පලස්තීන බලධාරීහු චෝදනා කළහ. 

ඇමෙරිකා එක්සත් ජනපදය 1988 වසරේ දී පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසාර් අර්ෆත් ට, ඇමෙරිකාවට පැමිණීමට  අවසර නොදුන් අතර ඒ හේතුවෙන් ඔහුට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සමුළුව ඇමතීමට අවස්ථාව ලබාදීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර හමුවක් පැවැත්වීමට සිදුවිණි. 

 

Leave a comment

This website uses cookies to improve your web experience.